Must Readතාරකා විද්‍යාව

තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක – තාරකාවක සම්භවය සහ විකාශය 2

සරාජ් ගුණසේකර

තාරකා බිහිවීම සඳහා අවශ්‍ය සාධක

තාරකාවක් බිහිවීම සඳහා අණු වලාවක් ගුරුත්වාකර්ෂණය යටතේ හැකිලීමට භාජනය විය යුතුය. මෙහිදී ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ වායුව තුළ පවතින පීඩනයයි. අණු වලාවේ ස්කන්ධය මෙම වායු පීඩනය මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වේ නම් අණු වලාව ගුරුත්වාකර්ෂණ යටතේ හැකිලීම ආරම්භ වේ. මෙලෙස ගුරුත්වාකර්ෂණ බලය පමණක් උපයෝගී කරගෙන හැකිලෙන අණු වලාවකින් බිහිවන්නේ අඩු සහ මධ්‍යම ස්කන්ධය (අපේ සූර්යයා වැනි) ඇති තාරකා පමනි. අධික ස්කන්ධයක් ඇති තාරකා බිහිවීම සඳහා ගුරුත්වාකර්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන අනෙක් බල නම් චලනය වන අංශු මඟින් ඇතිවන පීඩනය (pressure), වේගයෙන් භ්‍රමණය වන විට ඇතිවන කෙන්ද්‍රාපසාරී බලය (centrifugal force) සහ චලනය වන ආරෝපිත අංශු වලින් ඇතිවන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) මඟින්ඇතිවන බලය ආදිය වේ.

විශ්වය තුළ ඇතිවන විශාල පිපිරුම් නිසා කම්පන තරංග (shock waves) ඇති වේ. (සුපර්නෝවා වැනි පිපිරුම්) මෙවැනි කම්පන තරංග චක්‍රාවාට (Galaxies) තුළින් ගමන් කරන විට එම චක්‍රාවාට තුළ ඝනත්වය අධික අණු වලාවක් ඇති කරයි. අණු වලාවන් දෙකක ගැටීමක් සිදුවූ විට ද එමඟින් අණු වලා දෙකෙහි කැළඹුමක් ඇති කරයි. තවද අණු වලාවක් අසල බිහිවූ නව තරුවකින් පිපිරුමක් ලෙස පිටකරන උෂ්ණ හයිඩ්‍රජන් වායු මඟින් ද අණු වලා‍වේ සම්පීඩන කලාප ඇති කරයි. මෙවැනි ඝනත්වය අධික අණුක වලාවන්ගෙන් ස්කන්ධය අධික විශාල තරු බිහිවේ.

අණු වලාවක් අසල බිහි වූ නව තරුවලින් පිටවන ප්‍රබල තාරකා සුළඟ (stellar wind) මඟින් අසල ඇති අණු වලාව ඉවතට විසිරුවා හරිනු ලබන අතර අණු වලාවේ දාරවල සම්පීඩනයක් ඇති කරයි. මෙම සම්පීඩන කලාපයේ ඝනත්වය අධික නිසා එහි නවතරු බිහිවේ. (තාරකා සුළඟ ප්‍රධාන වශයෙන් අයනීකරණය වු හයිඩ්‍රජන් (H II) වලින් සහ අනෙක් ස්කන්ධය වැඩි මූලද්‍රව්‍යයන්ගෙන් සමන්විත වන අතර එය තත්පරයට කිලෝමීටර සිය ගණනක වේගයෙන් අවකාශයට මුදාහරි.)

ප්‍රසිද්ධ ඔරායන් නීහාරිකාව මෙවැනි නව තරු බිහි වන ස්ථානයකි. නව තරුවක් සමඟ ග්‍රහ මණ්ඩලයක් බිහිවන හැකිලූනු අණු වලාවකට ප්‍රතිරූ ග්‍රහමණ්ඩල තැටියක් (protoplanetary disk or proplyds) ලෙස හදුන්වමු. ඔරායන් නිහාරිකාව තුළ මෙවැනි ප්‍රතිරූ ග්‍රහමණ්ඩල විශාල සංඛ්‍යාවක් සොයා ගෙන ඇත.

අණු වලාවක් හෙවත් නීහාරිකාවක් ප්‍රමාණවත් ලෙස හැකිලූන විට එය භ්‍රමණය වන තැටියක් (disk) සහ එහි මධ්‍යයේ ප්‍රතිරූ තරුවක් (proto star) නිර්මාණය වේ. අණු වලාවක් හැකිලෙන අවස්ථාවේදී ද ගම්‍යතාවය සහ ශක්තිය සංස්ථිතික විය යුතුය. අණු වලාව හැකිලෙන විට එහි විභව ශක්තිය අඩු වේ. එහි ශක්තිය සංස්ථිතික විම සඳහා එහි චාලක ශක්තිය වැඩි විය යුතුය. එනම් අණු වලාවේ උෂ්ණත්වය ඉහළ යා යුතුය. අණු වලාව හැකිලෙන විට එහි කෝණික ගම්‍යතාවය සංස්ථිතික වීම සඳහා අණු වලාවේ භ්‍රමණ වේගය වැඩි විය යුතුය. කෝණික ගම්‍යතා සංස්ථිතිය නිසා මෙම තැටිය භ්‍රමණය වීම සිදුවන්නේ නීහාරිකාව හැකිලීමට පෙර එහි භ්‍රමණය වූ දිශාවටය.

නීහාරිකාව ගුරුත්වය යටතේ හැකිලෙන විට එහි හැඩය ගෝලාකාර ස්වභාවයක් ගන්නා අතර එහි භ්‍රමණ වේගය වැඩිම ප්‍රදේශය වන්නේ එහි සමකයට ආසන්න ප්‍රදේශයයි. එම නිසා හැකිලූන නීහාරිකාවේ සමකය ආසන්න ප්‍රදේශයේ කෙන්ද්‍රාපසාරී බලය වැඩි බැවින් සමකය ආසන්නයේ ඇති නීහාරිකාවේ ද්‍රව්‍ය තව දුරටත් ගුරුත්වය යටතේ බිහිවන ප්‍රතිරූ තාරකාව මතට වැටීමක් සිදුනොවේ. එහෙත් ධ්‍රැව ආසන්නයේ කෙන්ද්‍රාපසාරී බලය ඉතා අඩු නිසා නීහාරිකාවේ ද්‍රව්‍ය තවදුරටත් ප්‍රතිරූ තාරකාව මතට පතිතවේ. මෙම හේතුව නිසා ප්‍රමාණවත් ලෙස හැකිලූන නීහාරිකාව මැද ගෝලාකාර වුු තැටියක ස්වරූපයක් ගනී. මෙලෙස හැකිලෙන නීහාරිකාවේ උෂ්ණත්වය සහ පීඩනය ඉතා වැඩි වන අතර යම් මොහොතක න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට තරම් එය ප්‍රමාණයක් වේ. එවිට අපි නව තරුවක් (Young stellar object -YSO) බිහිවූයේ යැයි කියමු.

මෙම න්‍යෂ්ටික ප්‍රතිකි්‍රයා වේදී පහත පරිදි හයිඩ්‍රජන් න්‍යෂ්ටි 4 ක් හීලියම් න්‍යෂ්ටියක් , පොසිට්‍රෝණ 2ක්, නියුට්‍රෝණ 2ක් , ගැමා කිරණ 2ක් බවට විලයනය වේ. (ප්‍රෝටෝන-ප්‍රෝටෝන චක්‍රය) මෙම තරුවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආරම්භ වු අවස්ථාවේදී එය අපේ ඇසින් දැකගත නොහැකිය. මන්ද යත් නව තරුව වටා ඇති දූවිලි සහ වායුවල උෂ්ණත්වය දෘශ්‍ය ආලෝකය පිටකිරීමට තරම් ප්‍රමාණවත් ලෙස වැඩි වී නොමැති බැවින්. මෙවැනි නව තරු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ රේඩියෝ තරංග පරාසයෙන් නිරීක්‍ෂණය කළ හැකිය. එනම් රේඩියෝ දුරේක්‍ෂ තුලින් මෙවැනි අලූත බිහිවු තරු දැකගත හැකිය.

තරුවේ ඇති ආරෝපිත අංශු වල චලනය නිසා තරුවේ විශාල චුම්භක ක්ෂේත්‍රයක් ජනනය වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය වඩාත් ප්‍රබල වන්නේ තරුවේ ධ්‍රැව 2 ක ආසන්නයේදීය. අයනීකරණය වූ හයිඩ්‍රජන් (H II) ආරෝපිත අංශු බැවින් තරුවේ ධ්‍රැව 2ක ඔස්සේ චුම්භක බල රේඛා දිගේ ක්ෂේප (jet) 2ක් ලෙස තරුවෙන් ඉවතට විහිදෙනු දැකිය හැකිය. භ්‍රමණය වන තරුවේ හරයේ (core) ඇති ද්‍රව්‍ය ඉන් ඉවතට ගමන් කළ හැකි පහසුම මාර්ගය වන තරුවේ භ්‍රමණ අක්‍ෂය ඔස්සේ තරුවෙන් ඉවතට ඇදීයයි. තවද තරුව වටා ඇති තැටියෙන් වායු, දුවිලි සහ විකිරණ තාරකා සුළඟක් ලෙස පිට කරනු ලබයි.

Author

Related Articles

Back to top button