Must Readජනප්‍රියතම ලිපිජෛව තාක්ෂණය

ආහාර වල  අඩංගු ස්වභාවික විෂ සංයෝග

ආචාර්ය උරේෂණි කරුණාරත්න - මුලික විද්‍යා අධ්‍යයනාංශය , සම සෞඛ්‍යය පිඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

හැදින්වීම  

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉතිහාසයේ සිදුවූ දරුණුම සමුද්‍ර දුෂණය ,එනම් එක්ස් ප්‍රර්ස් පර්ල් (X-Press Pearl))නෞකාව ගිනි ගෙන මුහුදු බත් වීම සහ කෘෂි වගාවන් සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හදුන්වා දීමත් සමඟම ආහාර වලට එකතු වෙන සහ එකතු විය හැකි ධුලක (විෂ) පිළිබදව අපි හැමෝගෙම අවධානය යොමු වුණා.

ආහාර වලට මේ  ආකාරයට කෘතිමව විතරද ධුලක එහෙම නැත්නම් විෂ එකතු වෙන්නේ ?ඇත්තටම නැහැ. සමහර ආහාරවල ස්වභාවිකවම ධුලක අඩංගු වෙනවා .

මෙම සමහර ධුලක ආහාරවලා ඉතාමත් සුළු වශයෙන් වුවත් සැලකිය යුතු ප්‍රමාණයක් එක වර ශරීර ගත වුව හොත් අසාත්මිකතා හෝ විෂ වීම හෝ සමහරවිට මරණය පවා සිදු විය හැකිය .

මෙලස ආහාරවල ස්වභාවික අඩංගු වන ධුලක ජීවින් විසින්ම නිපදවන ද්විතීයික පරිවෘත්තිය සංයෝග වේ.මෙම ධුලක එම ශාකයක හෝ සත්ත්වයකු හෝ දිලීරයක් තුළ හෝ ස්වභාවික හමුවන සංයෝගයක් හෝ ස්වභාවික /පරිවෘතිය ක්‍රියාවලියක් නිසා නිපදවෙන අතුරුලයක් හෝ විය හැකිය.

මෙම ධුලක නිපදවන ජීවියාටඅහිතකර නොවුවද , එම ධුලක සහිත ජීවියා, වෙනත් ජීවියකු විසින් ආහාරයට ගැනීම නිසා හෝ අහිතකර තත්වයක් ඇතිවිය හැකිය.

මෙම ධුලක ආහාරවල ස්‌වාභාවිකම  අඩංගු වුවද ඒවා සැමවිටම එම ආහාර තුළ අඩංගු නොවිය හැකිය. එමෙන්ම එම ධුලක ඉවත් කර හෝ ඉවත්වන ලෙස ආහාර සකසා ගත හැකිය .

මෙලස ආහාරවල  ස්‌වාභාවිකම  හමුවන ධුලක ශාක ධුලක (Phytotoxic)),සත්ව ධුලක (animal toxin)සහ දීලීර ධුලක(mycotoxin) ලෙස වර්ග කල හැකිය .

මෙම පත්‍රිකාව මගින් ශාකමය ආහාර වල ඇති ධුලක පිලිබදව අවධානය කර ඇත.

ස්වභාවික ශාක ධුලක

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශාක යොදා ගන්න බව නොරහසකි .එමෙන්ම සමහර බටහිර ඖෂධ ද නිපදවාඇත්තේ ශාක වල ඇති ඖෂධිය සංයෝග වලින් බව අපි දනිමු .මෙලස ඉහළ ඖෂධිය වටිනාකමක් තිබුනද සමහර ශාක වල ඒවාටම අවේනික වු ස්වභාවික ධුලක ඇත.

මෙම ධුලක ක්‍රියාකාරිත්වය අනුව රසායනික කාණ්ඩවලට බෙදා දැක්විය හැකිය .උදාහරණ ලෙස ප්‍රෝටීන නිෂේධක ,අමයිලේස් නිශේධක,ලෙසිතින් ,සයනයිඩ ජනක ග්ලයිකොසයිඩ ,ප්‍රති විටමින ,ඔක්සලේට ,විෂ ඇමයිනෝ අම්ල ,දැක්විය හැකිය.මිට අමතරව සැෆොනින්.ටැනින් වර්ග අල්කලොයිඩ වර්ග ද ධුලක ලෙස හමුවේ .

මෙයින් කීපයක් පමණක් සැකෙවින් දැන ගනිමු

ප්‍රෝටීන නිශේධක (Proteinase Inhibitors)

ප්‍රෝටීන නිශේධකයක් ආහාරයේ අඩංගු වූ විට,එය ප්‍රෝටීන ජීර්ණ ක්‍රියාවලියේදී දායක වන එන්සයිම හා බැඳේ .එවිට ප්‍රෝටීන වලට එම එන්සයිම හා බැඳීමට ඇති අවස්ථාව මඟහැරී යයි.  මේ නිසා ප්‍රෝටීනයට අදාළ ප්‍රෝටීන ජීරක එන්සයිමයට නොබැඳෙන නිසා ප්‍රෝටීන ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වේ.

පහත රූපය බලන්න .එමගින් සිදුවන සෙය ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.

උදාහරණයක් ලෙස ට්‍රිප්සීන් නිශේධක දැක්විය හැක.මෙම ට්‍රිප්සීන් නිශේධක, ට්‍රිප්සීන් එන්සයිමය බැඳේ .එවිට ට්‍රිප්සීන් එන්සයිමය මඟින් ජීරණය වන ප්‍රෝටීන,ට්‍රිප්සීන් එන්සයිමය නොබැඳෙන නිසා එම ප්‍රෝටීන ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වේ.

රනිල කුලයේ ශාක වන සෝයා බෝංචි,බෝංචි කව්පි වැනි ශාකවල ප්‍රෝටීන නිශේධක හමුවේ.

ඇමයිලේස් නිශේධක (Amylase inhibitors)

ඇමයිලේස් යනු පිෂ්ඨය ජීර්ණය කරන එන්සයිමයයි .ආහාරයක ඇමයිලේස් නිශේධකයක් අඩංගු වූ විට එය ඇමයිලේස් එන්සයිමය හා බැඳීම නිසා එම එන්සයිමයේ ක්‍රියාකාරීත්වය නවතී .එනම් පිෂ්ඨ ජීර්ණ ක්‍රියාවලිය අඩපන වේ .

මෙවැනි ඇමයිලේස් නිශේධක  තිරිඟු ,රයි ,බෝංචි වැනි ආහාර වල සුලභව හමු වේ .

ලේක්ටීන් (Lectins)

මේවා ප්‍රෝටීනමය සංයෝග වේ .සමහර විට කාබෝහයිඩ්රේට  වලට බැඳුනු ප්‍රෝටීන ලෙසද හමු වේ.

ලෙක්ටීන්  රුධිර සෛල සමඟ ක්‍රියා කිරීම නිසා රුධිරය කැටි ගැසේ . ලෙක්ටීන් වලට, රුධිර සෛල මතුපිට ඇති සීනි අණු හා බැඳිය හැක .එය ප්‍රතිදේහ ජනක හා ප්‍රතිදේහ බැඳෙන යාන්ත්‍රණය හා සමාන වුවත් ලෙක්ටීන්, සෛල වල ඇති සීනි අනු හා බැඳෙනුයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිචාරයකට ලෙස නොවේ .

සීනි අණුවලට බැඳීමට ඇති සුවිශේෂිතාවය අනුව ඒවා,ග්ලුකෝස් ලෙක්ටීන්, ග්ලැක්ටෝස් ලේක්ටීන් ලෙස විවිධ ලෙක්ටීන් දක්නට ලැබේ.

ලෙක්ටීන් මෑ ( Pisum SP) බෝංචි විශේෂ (Phaseolus Vulgaris, Phaseolus Lunatus) සහ විශේෂ වල අඩංගු වේ .

ෆයිටේට (Phylate)

ශාකවල සාමාන්‍යයෙන් පොස්පරස් සංචිත කරනුයේ ෆයිටේට ලෙසය .

මෙම එක් ෆයිටේට අනුවක ක්‍රියාකාරී පොස්ටේට කාණ්ඩ 06 ක් පමණ ඇත .කායික Ph අගය යටතේ ඇතිවිට ඛණිජ ලවණ ෆයිටේට අණු හා බැඳී අදාව්‍යය සංකීර්ණ සාදයි .ෆයිටේට අණු තවත් ෆයිටේට්

අණුවක් අතර මෙන්ම,ආහාරයේ ඇති ප්‍රෝටීන පිෂ්ඨ, සහ එන්සයිම අණු සමග ද බැඳී අද්‍රාවය සංකීරණ සාදයි

ඛණිජ ලවණ සමග මෙලෙස අද්‍රාවයසංකීර්ණ සැදීම නිසා ආහාරයකින් ලබාගත හැකි ඛනිජ ලවණ ප්‍රමාණය අඩුවේ.

කෙසේවෙතත්, ආහාර ජිර්ණ පදධතියේ ඇති සමහර එන්සයිමවලට මෙම සංකීර්ණය බිඳිය හැකි අතර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී  මෙම සංකීර්ණය බිදේ.එවිට ඛණිජ ලවන අවශෝෂණයේ ගැටලු බහුලතාවයේ ගැටලු ඇති නොවේ.

ෆයිටේට ප්‍රධාන වශයෙන් තිරිඟු, රයි, ඉරිඟු, සෝයා බෝංචී,සලාද වැනි අහාර වල මෙන්ම කොත්තමල්ලි, අබ වැනි කුළු බඩු වලද අඩංගු වේ.

සයිනයිඩ ජනක ග්ලොයිකොසයිඩ්

සයිනයිඩ ජනක ග්ලොයිකොසයිඩ් ශාක විශේෂ 2500 වඩා වැඩි ප්‍රමාණයක ස්භාවිකව හමුවේ

මෙම සයිනයිඩ ජනක ග්ලොයිකොසයිඩ් ආම්ලික තත්ව හෝ අම්ල ඇතිවිට හෝ අදාල ක්‍රියාකාරී එන්සයිමය ඇති විට සයිනයිඩ් නිපදවයි

එන්සයිම ක්‍රියාවලියක් ඔස්සේ සයිනයිඩ ජනක ග්ලොයිකොසයිඩ් වලින් සයිනයිඩ නිපදවන්නේ කෙසේදැයි බලමු

සයිනයිඩ ජනක ග්ලොයිකොසයිඩ් එනම් ලිනමරින් නම් සංයෝගය මත ලිනමරේස් නම් එන්සයිම ක්‍රියා කරයි

මඤ්ඤොක්කා වල ලිනමරීන් නම් සයිනයිඩ ජනක  සංයෝගය අල තුල ඇති අතර, ඒ මත ක්‍රියා කරන ලිනමරේස් එන්සයිමය මඤ්ඤොක්කා වල පොත්තේ ඇත. මෙම නිසා මඤ්ඤොක්කා අල වල  පොත්ත පළුදු විට ලිනමරේස් එන්සයිමයට, ලිනමෙරේස් එන්සයිමයට, ලිනමරීන් උපස්ථරය සමඟ ක්‍රියා කිරීමට ඉඩ සැලසේ  එමඟින් සයිනයිඩ නිපදවේ

මෙසේ  නිපදවන සයිනයිඩ ඉතාමත් ක්‍රියාකාරීය. ශරීරය තුලදී  අහිතකර  ලෙස ජෛව රසායනික  වලට මැදිහත් වෙයි  ඒ අනුව  සයිනයිඩ මඟින්  ප්‍රතිඔක්සිකාරක පද්දතිය බිම දමන අතර සෛයීලීය ස්වසනයද නිශේදනය කරයි

සයිනයිඩ් විශ වීමේ කෙටි කාලීන ප්‍රතිපල ලෙස කෙට් කාලීන සිහි මඳ ගතිය, මාංශපේශී අක්‍රීය වීම හා ස්වශන අපහසුතා ඇතිවිය හැකිය

එමෙන්ම සයිනයිඩ් සයිනකොබලමින් සමඟ සංචරණ සාදන බැවින් සයිනයිඩ දීර්ඝ කාලීනව ශරීර ගත වීම නිසා ව්ටමින් බී ඌණතාවයද ඇතිවිය හැක

ග්ලුකෙසෙනේට

මෙම ග්ලුකෙසෙනේට මූලීකවම ආහාර වල ඇති තයිරොයිඩ් ග්‍රන්ති වලින් තයිරොක්සීන් හෝමෝනය නිපදවීම අඩාල වෙය්

ගෝවා, රූබා, රාබු අබ සහ මඥ්ඤොක්කා වැනි අහාර වල  ග්ලුකෝ සිනේට හමුවේ

අර්තාපල් ග්ලයිකොඇල්කොලොයිඩ්

අර්තාපල්  වල විවිධාකාර වූ ග්ලයිකොඇල්කොලොයිඩ් එනම් සොලනම් සංයෝග හමුවේ.

මෙම සොලනම් සංයෝග ශාකය පුරාම හමුවිය හැකි වුවත් , බීජ අර්තාපල් වල අංකුර සහිත කොළ පැහැති ප්‍රදේශ වල අධික සාන්ද්‍රණයකින් ඇත.

සොලනට් සංයෝග ආහාර ජිර්ණ පද්ධතිය උද්දීපනය කරන අතර ස්නායු පද්ධතියේ සංකුලතා ඇති කරයි.

මෙහි ක්‍රියාකාරිත්වය ගැන තවම නිසි ආකාරයට අවබෝධ කර නැති මුත් , මෙම ග්ලයිකොඇල්කොලොයිඩ ස්නායු පද්ධතියේ ඇති ක්ලෝනීන්එස්ටරේස් එන්සයිමය නිශේධනය කරන බව සෛල බිත්ති විනාශ කරන බව එමඟින‍් මරණය සිදු වන බව සොයා ගෙන ඇත.

එමෙන්ම මෙම සංයෝග මයිට්‍රොකෝන්ඩ්‍රියා පටලය මතද ක්‍රියාකරනනබව සොයා ගෙන ඇත.

ප්‍රතිවිටමින්

විටමින් ඌනතාවයක් ඇතිකළ හැකි ආහාර වල අඩංගු සංඝටක ප්‍රති විටමින් ලෙස හඳුන්වයි

මෙම ප්‍රතිවිටමින් බොහෝ විට විටමින් වලට ව්‍යුහමය වශයෙන් සමාන කමක් දක්වයි . මෙනිසා  විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා වලට විටමින් වෙනුවට මෙම ප්‍රති විටමින් ක්‍රියාකාරි ව සම්බන්ධ වේ.

සමහර ප්‍රතිවිටමින් , විටමින් අණු වෙනත් සංයෝගයක් බවට බිඳ හෙළන අතර , එමඟින් විටමින් ඌනතාවය ඇති වේ මිට උදාහරණයක් ලෙස තයමිනේස් එන්සයිමය සැලකිය හැකිය. මෙම තයමිනෙස් එන්සයිමය , තයමින් විටමිනය බිඳ දමයි. එමඟින් තයමින් ඌනතාවය ඇතිවේ.

මිට අමතරව විටමින් සී බිඳ දැමිය හැකි, විටමින් c ( ඇස්කෝබික් ඇසිඩ් ) ඔක්සිඩේස් එන්සයිමය පිපිඥ, වට්ටක්කා , සලාද, තක්කාලි, ආර්තාපල් , කැරට් , සහ කොළ බෝජචි වල හමුවේ .

ඔක්සලේට්

ඔක්සලේට් , තේ , කොකෝවා , බිට් රූට් , රුබා චල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු වනන අතර සලාද , කැරට් ,ගෝවා, මල් ගොවා ,අර්තාපල් , කඩල සහ බෝංචි  වලද ඔක්සලේට් අඩංගු වේ.

පයිටේට් මෙන්ම ඔක්සලේට් ආහාරයේ අඩංගු විම නිසා අත්‍යවශ්‍ය  ඛණිජ ලවන වල ජෛව බහුලතාවය විශේෂයෙන්ම අවශෝසනයට බලපායි. විෂවිම සඳහා ආහාරයේ ඇති ඔක්සලේට හා කැල්සියම් අතර ඇති අනුපාතය බලපායි.

මෙම ඔක්සලේට් නිසා මුත්‍රගල් ඇතිවන බව විශ්වාස කරන නමුත් ඒය තහවුරු කර නැත.

කැෆේන්

ස්නායු උත්තේජකයක් ලෙස සැලකෙන කැෆේන් ශරීරයේ අනෙකුත් සියලුම අවයව කෙරෙහි බලපැම් ඇති කරයි.

කැෆේන් , සෛලීය මට්ටමේදි ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක අවහිර කරන අතර , එමඟින් මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුලු අවයව උත්තේජනය කරයි.

කැෆේන් වැඩිපුර ශරිර ගත විම නිසාඅහිතකර ප්‍රතිපල ඇතිවේ. උදාහරණයක් ලෙස ගර්භනි අවධියේදි කැෆෙන් බහුල ආහාර ගැනිම නිසා ගබ්සා ඇතිවිය හැක.

සාරාංශය

ආහාර ස්වභාවික අඩංගු වන විෂ / ධුලක ජිවින් විසින් නිපදවන ද්විතීයික පරිවෘත්තිය සංයෝග වන අතර එවා ශාකයක හෝ සත්ත්යවකුගේ හෝ දිලිරයක් තුළ හෝ ස්වභාවිකව හමුවන සංයෝගයක් හෝ පරිවෘත්තිය ක්‍රියාවලි නිසා නිපදවෙන සංයෝගයක් හෝ විය හැකිය. මෙම ධුලක නිපදවෙන ජිවියාට අහිතකර නොවුවද , ඒම ධුලක සහිත ජිවියා , වෙනත් ජිවියකු විසින් ආහාරයට ගැනිම නිසා අහිතකර තත්වයක් ඇති විය හැක.

ආහාරවල ස්වභාවික හමුවන ධුලත ශාක , සත්තව ධුලක ස හ දිලිර ධුලක ලෙස වර්ග කළ හැකි වන අතර ශාක ධුලක වලට උදාහරණ ලෙස ප්‍රෝටින් නිශේධක ඇමයිලේස් නිශේධක , ලෙසිතින් , සයනයිඩ් ජනක ග්ලයිකොසයිඩ, ප්‍රති විටමින, ඔක්සලේට, විෂ ඇමයිනෝ අම්ල, විෂ මේද අම්ල දැක්විය හැකිය. මිට අමතරව සැෆෝනීන් ,ටැනින් වර්ග ඇල්කලොයිඩ වර්ග ද ධුලක ලෙස හමුවේ .

මුල පද – ස්වභාවික ධුලක , ස්වභාවික විෂ සංයෝග , ශාකමය විෂ සංයෝග, නිශේධක ග්ලයිකොසයිඩ්

ආචාර්ය උරේෂණි කරුණාරත්න
මුලික විද්‍යා අධ්‍යයනාංශය , සම සෞඛ්‍යය පිඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Author

Related Articles

Back to top button