Must ReadScience Insiderපර්යේෂණ හා නව නිපැයුම්

පුළුල් පාරිසරික අර්බුදයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණයේ වත්මන් තත්ත්වය

ආචාර්ය ප්‍රදීප් ගජනායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජෛව විවිධත්වයෙන් සහ ස්වභාවික පරිසරයෙන් පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව මයික්‍රෝ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර  දූෂණය හේතුවෙන් සැඟවුණු ව්‍යසනයකට වත්මන මුහුණ දී සිටී. ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව විශේෂයෙන් ලෝක ව්‍යාප්ත ප්ලාස්ටික් වසංගතයට නිරාවරණය වී ඇති අතර එය මේ වන විට තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබේ.

මයික්‍රෝ ප්ලාස්ටික් (MPs) යනු මොනවාද?

විශාල ප්ලාස්ටික් බිඳවැටීමෙන් සෑදෙන 1 μm සිට 5 mm දක්වා වූ ප්‍රමාණයේ කුඩා ප්ලාස්ටික් අංශු මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හැඳින්වේ (රූපය 1). ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර සේවයට (National Ocean Service) අනුව, මයික්‍රෝ ප්ලාස්ටික් විවිධ ප්‍රභවයන් ඇසුරෙන් එනම්, කැඩී  වෙන්වී ගිය විශාල ප්ලාස්ටික් කැබලි, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිතා කරන රෙසින පෙති  (resin pellets) හෝ සෞඛ්‍යාරක්ෂණ  හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන කුඩා ක්ෂුද්‍ර පබළු වැනි ද්‍රව්‍යයන්ගෙන් ප්‍රතිඵල විය හැකිය (NOAA, 2024).

රූපය 1: විශාලත්වය අනුව ප්ලාස්ටික් වර්ගීකරණය.

 මයික්‍රෝ ප්ලාස්ටික්හි පුළුල් පාරිසරික බලපෑම්

ප්ලාස්ටික්හි තැනුම් ඒකකය වන පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය (petrochemicals) රාශියක් නිෂ්පාදනය කිරීම සඳහා පිරිපහදු කළ බොරතෙල් භාවිතා වන බව මයික්‍රෝ ප්ලාස්ටික්හි සම්භවය පිලිබඳ සලකා බැලීමේදී පෙනී යන කරුණකි. කාලයත් සමඟ ප්ලාස්ටික් නිෂ්පාදන භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක පරිහානියට ලක් වන අතර ඒවා මැක්‍රොප්ලාස්ටික් බවට පත්වී , පසුව මෙසොප්ලාස්ටික් සහ මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත් වේ. මයික්‍රෝ ප්ලාස්ටික්,කාණ්ඩ  දෙකකට බෙදිය හැකිය; එනම් රූප සටහන 2 හි පරිදි ප්‍රාථමික සහ ද්විතියික යනුවෙනි.මෙහිදී  නිපදවෙන අංශූන්  ජල ධාරාවන් , ​​සුළඟ සහ ජීවීන්ගේ චලනය මගින් පරිසරයට ඇතුළු වන අතර අවසානයේදී  ජෛව සංචිත වීම සිදු වේ. පරිසරයේ සංචිත වීම සහ ජෛව සංචිත වීම හරහා පහත පරිදි  මානව සහ පාරිසරික සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි;

  • මයික්‍රෝ ප්ලාස්ටික්  භෞතික වෙනස්කම් වලට භාජනය වන අතර දූෂක අවශෝෂණය කර ගැනීමේ හැකියාව හේතුවෙන් පාරිසරික බලපෑම් වලට තුඩු දේ.
  • මයික්‍රෝ ප්ලාස්ටික් සුළඟ, ජල ධාරා, ජීවීන් හරහා ව්‍යාප්ත වෙමින් සාගර, ගංගා, විල් සහ පසෙහි සංචිත විය හැක.
  • මයික්‍රෝ ප්ලාස්ටික් PAHs, PCBs, ඩයොක්සින්, ලෝහ, ඖෂධ, පළිබෝධනාශක, සහ වල්නාශක වැනි දූෂක අවශෝෂණය කරයි.
  • පරිසරය තුල නොනැසී පවතින, විෂ සහිත සහ බහුලව හමුවන ද්‍රව්‍යයක් ලෙස , මයික්‍රෝ ප්ලාස්ටික් බරපතල පාරිසරික හා සෞඛ්‍ය අවදානම් ඇති කරයි.
  • සමුද්‍ර ජීවීන් මයික්‍රෝ ප්ලාස්ටික් ආහාරයට ගැනීම හරහා ඒවා ආහාර දාමයට ඇතුළු වි  වන සතුන්ට සහ මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි.
  • පාංශු පරිසර පද්ධති ද මයික්‍රෝ ප්ලාස්ටික්හි  බලපෑමට ලක් වී ඇති අතර , ආහාර ප්‍රභවයන් සහ විවිධ ජීවීන් කෙරෙහි බලපායි.
  • ආහාර, ජලය සහ ආශ්වාස කිරීම හරහා මයික්‍රෝ ප්ලාස්ටික් වලට  නිරාවරණය වීම තුලින් මිනිස් සෞඛ්‍යයට අවදානමක් එල්ලවීමේ හැකියාව පවතී.
  • දේශීය නොවන ජීවී විශේෂ හඳුන්වාදීම, ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් වෙනස් කිරීම සහ රෝග සම්ප්‍රේෂණය වැඩි වීමට මයික්‍රෝ ප්ලාස්ටික්හි පැවතීම හේතු විය හැක.

දිනෙන් දින වර්ධනය වන ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණය

 2020 සහ 2021 වසරවල අතාවුද සහ සමරසිංහ විසින් මෙහෙයවන ලද මෑත කාලීන පර්යේෂණ හෙළිදරව් කරනුයේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් පරිභෝජනය වාර්ෂිකව 16% කින් වැඩි වන අතර එය වසරකට මෙගාග්‍රෑම් 265,000 දක්වා ළඟා වෙමින් ගෝලීය වශයෙන් 5 වන විශාලතම ප්ලාස්ටික් දූෂණය සිදු කරන රට බවට ශ්‍රී ලංකාව පත් කරමින් පවතින බවයි. ( Athawuda et al., 2020, Samarasinghe et al., 2021). කුඩා ප්ලාස්ටික් පෙති ටොන් 1,680ක් සාගරයට එක්කරමින් 2021 වසරේදී සිදු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ,මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු වූ අතර එහිදී විද්‍යාත්මක පර්යේෂණ, මහජනතාව සඳහා සිදු කෙරෙන දැනුවත් කිරීම්  සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම්  යනාදිය ඉහල නංවන ලෙසට ඉල්ලීම් සිදු කෙරිණි. මැක්‍රෝ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ යම් අවබෝධයක් ඇතිමුත් , මයික්‍රෝ  ප්ලාස්ටික් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ  අවබෝධය සීමිතය. මයික්‍රෝ ප්ලාස්ටික් අවදානම අවම කිරීම සඳහා ජාතික හෝ කලාපීය ප්‍රතිපත්තිවල අවශ්‍යතාවයත් , ඒවායේ ව්‍යාප්තිය  සහ එල්ලවිය හැකි  අවදානම් කෙරෙහි අවධානය යොමු කරමින්  සහ ගෝලීය පාඩම් මත පදනම්ව විසඳුම් යෝජනා කිරීමත් දේශීය පර්යේෂකයන් විසින් අවධාරණය කර ඇත. විශ්ව විද්‍යාල, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) වැනි ආයතන, වෙරළ තීරයන්හි  මයික්‍රෝ  ප්ලාස්ටික්හි  පැවතීම තක්සේරු කිරීමට සහ දූෂණය සිදු වන ස්ථාන හඳුනා ගැනීමට ක්‍රියා කිරීම හරහා මෙම ගැටලුව විසඳීමට ක්‍රියාකාරීව සම්බන්ධ වේ.

රූපය  2: මයික්‍රෝ ප්ලාස්ටික්හි නිර්මාණය වීම හා එහි බලපෑම්

 මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳ අංගසම්පූර්ණ අධ්‍යයනයක් සහ එහි සොයාගැනීම්

 ශ්‍රී ලංකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ සඳහා මෑත කාලයේ දී සැලකිය යුතු ප්‍රමුඛතාවයක් හිමි වී ඇති අතර එහිදී  විශේෂයෙන් සාගර සහ වෙරළබඩ පරිසරයන් පිළිබඳව සහ මයික්‍රෝ  ප්ලාස්ටික් අඩංගු නිෂ්පාදන සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ ප්‍රමුඛ වී ඇත. 2021 වසරේදී සිදුවූ එක්ස්ප්‍රස්    පර්ල්  නෞකා අනතුර වැනි සිදුවීම් මෙලෙස මේ පිලිබඳ අවධානය ඉහල යාම සඳහා  හේතු වී ඇත. මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳ ගෝලීය උනන්දුව දශක පහක් ඈතට විහිදෙන අතර, ශ්‍රී ලංකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණය සම්බන්ධයෙන් සම-සමාලෝචනය කරන ලද ලිපි සියල්ලම පසුගිය වසර හය තුළදී එලි දැක්වූ ඒවා වේ. (Jayasiri et al., 2023). 2021 වසරේදී සිදුවූ  නෞකා අනතුර  හරහා   මයික්‍රෝ ප්ලාස්ටික්හි පාරිසරික බලපෑම සම්බන්ධයෙන් සිදු කෙරෙන  පර්යේෂණ වැඩි කිරීමේ සහ ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු වීම විශේෂත්වයකි. මෙම පර්යේෂණය හරහා  මූලික වශයෙන් සිදු කෙරෙනුයේ මයික්‍රෝ ප්ලාස්ටික්හි  බලපෑම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීමත්  ජලය, වැලි, පස, අවසාදිත සහ විවිධ නිෂ්පාදනවල සාම්පල විශ්ලේෂණය කිරීමත් ය. Marine Pollution Bulletin, Environment Pollution,Science of Total Environment සහ Journal of Hazardous Materials වැනි ප්‍රමුඛ පෙලේ  සඟරා විසින් මෙම අධ්‍යයනයන් ප්‍රකාශයට පත් කර ඇත. (Abeynayaka et al., 2022, Kapukotuwa et al., 2022, Perera et al., 2022, Samarasinghe et al., 2021). මෙම අධ්‍යයනයන්හි අරමුණු එකිනෙකින් වෙනස් වන අතර, පුද්ගලික සත්කාර අයිතමවල අඩංගු මයික්‍රෝ ප්ලාස්ටික් හඳුනා ගැනීම, ලවණවල මයික්‍රෝ ප්ලාස්ටික් හි  දූෂණ මට්ටම් ඇගයීම, පාරිසරික බලපෑම් සොයාගැනීම උදෙසා  සිදුකෙරෙන පර්යේෂණ සඳහා මූලික දත්ත සැකසීම  සහ වෙරළ තීරයන්හි මයික්‍රෝ ප්ලාස්ටික්   දූෂණය නිරීක්ෂණය කිරීම ඒ සඳහා ඇතුළත් වේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලය ප්‍රමුඛව, ශ්‍රී ලංකාවේ බහුවිධ පර්යේෂණ ආයතන විසින් මෙම අධ්‍යයනයන්හි සක්‍රීයව නිරත වී ඇත. (Koongolla et al., 2018, Athawuda et al., 2020). ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය සහ තායිවානය යන රටවල විදේශීය ආයතන සමඟ ඇති කර ගනු ලැබ ඇති සහයෝගීතාවයන්  හේතුවෙන් මෙම පර්යේෂණ තවදුරටත් පොහොසත් වී ඇත. කැබලි, සූත්‍රිකා, තන්තු සහ පෙන ඇතුළු විවිධ වර්ග, හැඩතල සහ වර්ණ වලින් යුත් මයික්‍රෝ ප්ලාස්ටික් ශ්‍රී ලංකාව තුළ හඳුනාගෙන ඇති අතර, ඒ හරහා ඒවායේ ප්‍රභවයන් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇත. (රූපය 3). මයික්‍රෝ ප්ලාස්ටික් මගින් එල්ල වී ඇති  පාරිසරික හා සෞඛ්‍ය බලපෑම්, ශ්‍රී ලංකාව තුල එමගින් සිදුවන දූෂණය නියාමනය කිරීමේ හදිසි අවශ්‍යතාවය පෙන්වාදෙයි.මෙම විෂය ක්ෂේත්‍රය  සම්බන්ධයෙන්  දැනට ක්‍රියාත්මක  පර්යේෂණ සහ ලබා දී ඇති නිර්දේශ සීමිත වන අතර, අධ්‍යයනයන් කිහිපයක් මගින් අවම කිරීමේ පියවර යෝජනා කර ඇත. මෙම නිර්දේශයන් අතරට පර්යේෂණ ඌණතාවන් සඳහා විසඳුම් සපයා දීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සහ ප්‍රතිපත්තිමය සහයෝගය ශක්තිමත් කිරීම ඇතුළත් වේ. (Karthik et al., 2022, Piyawardhana et al., 2022, Nawalage et al., 2022, Sevwandi et al., 2021, Sewwandi et al., 2022).

 

රූපය 3: ශ්‍රී ලංකාව තුල සිදු කරන ලද මයික්‍රෝ ප්ලාස්ටික් පිලිබඳ පර්යේෂණයන්හි  සරල සංඛ්‍යාලේඛන; (A) අධ්‍යයනය කරන ලද පද්ධතිවල ප්‍රතිශතය; (B) විමර්ශනය කෙරෙන ක්ෂේත්‍ර සාම්පල ප්‍රතිශතය; (C) හඳුනාගත් මයික්‍රෝ ප්ලාස්ටික් වර්ණ ප්‍රතිශතය; (D) හඳුනාගත් මයික්‍රෝ ප්ලාස්ටික් හැඩතලවල ප්‍රතිශතය. (Jayasiri et al., 2023).

පර්යේෂණ ඌණතාවන් අතරට මයික්‍රෝ  ප්ලාස්ටික්හි  රසායන විද්‍යාව, දූෂක හා ක්ෂුද්‍ර ජීවීන් සමඟ ඒවායේ අන්තර්ක්‍රියා සහ පාරිසරික බලපෑම් අවබෝධ කර ගැනීම ඇතුළත් වේ. යෝජිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම්වලට අපජලය පිරිපහදු කිරීම සහ දිගු කාලීන අධීක්ෂණය ඇතුළත් වේ. මහජන දැනුම්වත් කිරීමේ මුලපිරීම් හරහා පරිසර දූෂණය අවම කරනු පිණිස මානව හැසිරීම් වෙනස්කිරීමේ  කාර්යභාරය අවධාරණය කෙරේ.  (රූපය 4). මේ සඳහා පවතින නීති ශක්තිමත් කිරීම, නව නීති සම්මත කිරීම, නිෂ්පාදකයා සඳහා වගකීම් පියවර හඳුන්වාදීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සහ හොඳම පාරිසරික භාවිතයන් ක්‍රියාත්මක කිරීම යනාදිය සම්බන්ධව  ප්‍රතිපත්තිමය සහාය අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම යෝජනා, පාර්ශවකරුවන් ඇතුළත් වන සාමූහික ප්‍රවේශයක් හරහා ප්‍රායෝගික ප්‍රතිපත්ති බවට පූර්ණ වශෙන් පරිවර්තනය කිරීම අවශ්‍ය වේ.

 

රූප සටහන 4: විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය යටතේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මගින් පවත්වනු ලබන ප්ලාස්ටික් දූෂණය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති හරහා ප්‍රධාන වශයෙන් මැක්‍රෝ ප්ලාස්ටික් කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, ඒවා කාලයත් සමඟ පිරිහීමට ලක්විය හැකි බැවින් මයික්‍රෝ  ප්ලාස්ටික් නියාමනයට වක්‍ර බලපෑමක් ඇති කරයි.   ගෝලීය වශයෙන් ගත්කල , බොහෝ රටවල් මයික්‍රෝ ප්ලාස්ටික් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්ලාස්ටික් දූෂණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. පාර්ශ්වකරුවන්ගේ නියැලීම, ක්‍රියාත්මක කිරීමේ අභියෝග සහ ප්ලාස්ටික්හි  ජීවන චක්‍රය හරහා ක්‍රියාත්මක කෙරෙන  රෙගුලාසීන් හේතුවෙන් ඒවායේ සාර්ථකත්වයන්  එකිනෙකින් වෙනස් වේ. අවසාන වශයෙන්,මයික්‍රෝ ප්ලාස්ටික්  දූෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය වැඩිවෙමින් පවතින මුත් පුළුල් පර්යේෂණ සහ ප්‍රතිපත්ති රාමුවල හිඟයක් පවතින බව පෙනී යන කරුණකි. දැනට පවතින ප්‍රතිපත්ති හරහා ප්‍රධාන වශයෙන් මැක්‍රෝ ප්ලාස්ටික් සඳහා විසඳුම් ලබාදෙන අතර මයික්‍රෝ  ප්ලාස්ටික් කෙරෙහි නිශ්චිත බලපෑමක් එමගින් ඇති නොවේ. ප්‍රතිපත්ති හරහා මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණය නියාමනය කිරීමේ ලෝක මට්ටමේ ප්‍රයත්නයන් ප්‍රගතියක් පෙන්නුම් කරන මුත් ඒවා  ක්‍රියාත්මක කිරීමේදී  සහ පාර්ශවකරුවන් විසින් ඒවා  පිළිගැනීම සම්බන්ධයෙන් පවතින අභියෝග අඛණ්ඩව පවතී.

පරිසරය සහ මානව සෞඛ්‍යය මත එහි දුරදිග යන ප්‍රතිවිපාක සැලකිල්ලට ගත්  විට  ශ්‍රී ලංකාව තුළ මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණයේ අහිතකර බලපෑම්වලට එරෙහිව සටන් කරනු පිණිස ප්‍රතිපත්තිමය විසඳුම් සඳහා හදිසි අවශ්‍යතාවක් උද්ගතව ඇති බව  ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. එසේ වුවද, දූෂකවල  හැසිරීම්, ඒවායේ මූලාශ්‍ර, ගමන් මඟ  පිළිබඳ දැනුම සීමිත වීම සහ අවිධිමත් ලෙස බෙදා හැර ඇති සම්පත් වැනි අභියෝග,ඵලදායී නියාමනය සංකීර්ණ කර ඇත. මයික්‍රෝ ප්ලාස්ටික්හි අවදානම අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් විවිධ රටවල් විසින් පියවර ගෙන ඇති මුත් ,ඒ අතරින්  සමස්ත ප්ලාස්ටික් ජීවන චක්‍රය පිලිබඳ සලකා බලනු ලැබ ඇත්තේ රටවල් කිහිපයක් විසින් පමණි. මෙම කරුණු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් අවදානම කළමනාකරණය කර ගැනීම සඳහා  මෙම අධ්‍යයනය  මගින් ප්‍රතිපත්ති නිර්දේශ යෝජනා කෙරේ. මෙම නිර්දේශ ප්ලාස්ටික් චක්‍රයේ විවිධ අවධීන් පුරා විහිදෙන අතර විවිධ පාර්ශවකරුවන් ඉලක්ක කරයි. ඒ සඳහා ආනයන රෙගුලාසි, සැලසුම් සහ නිෂ්පාදන ප්‍රමිතීන්, ඇසුරුම්කරණය සහ බෙදා හැරීමේ නීති, භාවිතය සඳහා වන  මාර්ගෝපදේශ සහ විකල්ප පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ මයික්‍රෝ ප්ලාස්ටික් සම්බන්ධයෙන් අවසර ලත් සීමාවන් නිර්වචනය කිරීම වැනි වෙනත් උපාය මාර්ගද ඇතුළත් වේ. කෙසේ වෙතත්, මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ශවකරුවන්ගේ උපදේශන සහ ප්‍රතිපත්ති ඵලදායිතා ඇගයීම් අවශ්‍ය වේ. මෙම අධ්‍යයනය හරහා ඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා, විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් පර්යේෂණ සිදුකිරීමේ සහ දත්ත එකතු කිරීමේ දැඩි අවශ්‍යතාවය අවධාරනය කෙරේ. මෙම ප්‍රතිපත්ති යෝජනා මගින්  ශ්‍රී ලංකාව තුල,  ප්ලාස්ටික්හි  ජීවන චක්‍රයේ විවිධ අවධීන් හරහා මයික්‍රෝ ප්ලාස්ටික් මගින් සිදු වන පරිසර දූෂණ අවදානම අවම කිරීම අරමුණු කරයි. අවසාන වශයෙන්, මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණයේ අහිතකර බලපෑම් ලොව පුරා දක්නට ලැබෙන මුත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය ප්‍රමාණවත් නොවන බව පෙනේ. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය මගින්  මයික්‍රෝ ප්ලාස්ටික් මගින් සිදු වන දූෂණය සඳහා විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කෙරෙන අතර එහිදී සවිමත් දත්ත මත පදනම් වූ මනා දැනුම්වත් භාවයෙන් යුතුව සිදු කෙරෙන  ප්‍රතිපත්ති සම්පාදනය අපේක්ෂා කෙරේ. (Jayasiri et al., 2023).

සාමූහික ක්‍රියාමාර්ග සඳහා කැඳවීමක්

මයික්‍රෝ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමේදී ඒ සඳහා තීරණාත්මක පියවර ශ්‍රී ලංකාව විසින් ගනු ලබන අතර, මෙය සාමූහික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කෙරෙන ගෝලීය ගැටලුවක් බව පැහැදිලිය. මයික්‍රෝ ප්ලාස්ටික් උවදුරෙන් අපගේ සාගර සහ ග්‍රහලෝකය ආරක්ෂා කර ගැනීම උදෙසා ඵලදායී සහ තිරසර විසඳුම් සෙවීමේදී ඒ  සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ දැනුම බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ. ප්ලාස්ටික් වලින් තොර අනාගතයක් උදා කර ගැනුමට නම් ඒ සඳහා පුද්ගලයන්, රජයයන්, කර්මාන්ත සහ ජාත්‍යන්තර සංවිධාන  ප්ලාස්ටික් දූෂණයට එරෙහි සටනට එක්විය යුතුය. ශ්‍රී ලංකාවේ සහ ලෝක සාගරවල ස්වභාවික සුන්දරත්වය ඉදිරි පරම්පරා ගණනාවක් සඳහා ආරක්ෂා කර ගැනීම අපට අපේක්ෂා කල හැක්කේ  සාමූහික ප්‍රයත්නයන් තුළින් පමණි.

 References

Abeynayaka. A., Werellagama. I., Ngoc-Bao. P., Hengesbaugh. M., Gajanayake. P., Nallaperuma. B., Karkour. S., Bui, X.T. and Itsubo. N. 2022 ‘Microplastics in wastewater treatment plants’. Current Developments in Biotechnology and Bioengineering, 311-337.

Athawuda. A.M.G.A.D., Jayasiri. H.B., Thushari. G.G.N. and Guruge. K.P.G.K.P. 2020 ‘Quantification and morphological characterization of plastic litter (0.30–100 mm) in surface waters of off Colombo, west coast of Sri Lanka’. Environmental Monitoring and Assessment, 192,1-17.

Jayasiri. M.M.J.G.C.N., Gajanayake. P., Kolambage. S.H., Bandaranayaka. D.T., Wijethunga. A., Manatunga. D.C. and Abeynayaka. A. 2023 ‘Present Status of Microplastic Pollution Research Data in Sri Lanka and Microplastic Risk Mitigation Solutions; Lessons from a Global Policy Context’. Advances in Technology. 3(2).

Kapukotuwa, R.W.M.G.K., Jayasena. N., Weerakoo. K.C., Abayasekara C.L. and Rajakaruna R.S. 2022 ‘High levels of microplastics in commercial salt and industrial salterns in Sri Lanka’. Marine pollution bulletin, 174, 113239.

Karthik, R., Robin, R.S., Purvaja, R., Karthikeyan, V., Subbareddy, B., Balachandar, K., Hariharan, G., Ganguly, D., Samuel, V.D., Jinoj, T.P.S., and Ramesh, R., Microplastic pollution in fragile coastal ecosystems with special reference to the X-Press Pearl maritime disaster, southeast coast of India. Environ Pollut, 2022. 305,119297.DOI: 10.1016/j.envpol.2022.11929.

Koongolla, J.B., Andrady, A.L., Kumara, P.T.P. and Gangabadage, C.S., 2018. Evidence of microplastics pollution in coastal beaches and waters in southern Sri Lanka. Marine pollution bulletin, 137, pp.277-284.

National Oceanic and Atmospheric Administration (NOAA) 2024, What are microplastics?, National Oceanic and Atmospheric Administration, viewed 16 July 2024, <https://oceanservice.noaa.gov/facts/microplastics.html#:~:text=These%20sma >.

Nawalage, N.S.K.  and Bellanthudawa, B.K.A., Synthetic polymers in personal care and cosmetics products (PCCPs) as a source of microplastic (MP) pollution. Mar Pollut Bull, 2022. 182,113927.DOI: 10.1016/j.marpolbul.2022.113927.

Perera. U.L.H.P., Subasinghe. H.C.S., Ratnayake. A.S., Weerasingha. W.A.D.B. and Wijewardhana. T.D.U. 2022. ‘Maritime pollution in the Indian Ocean after the MV X-Press Pearl accident’. Marine Pollution Bulletin, 185,114301.

Piyawardhana, N.,  Weerathunga, V., Chen, H.S., Guo, L., Huang, P.J., Ranatunga, R., and Hung, C.C., Occurrence of microplastics in commercial marine dried fish in Asian countries. J Hazard Mater, 2022. 423(Pt B),127093.DOI: 10.1016/j.jhazmat.2021.127093.

Samarsinghe. K. Srikanth. P., and Visvanathan. C. 2021 ‘Evaluation of circular economy potential of plastic waste in Sri Lanka: Environmental Quality Management’. Environmental Quality Management, 31(1), 99-107.

Sevwandi Dharmadasa, W.L.S., Andrady, A.L., Kumara, P., Maes, T., and Gangabadage, C.S., Microplastic pollution in Marine Protected Areas of Southern Sri Lanka. Mar Pollut Bull, 2021. 168,112462.DOI: 10.1016/j.marpolbul.2021.112462.

Sewwandi, M., Amarathunga, A.A.D., Wijesekara, H., Mahatantila, K., and Vithanage, M., Contamination and distribution of buried microplastics in Sarakkuwa beach ensuing the MV X-Press Pearl maritime disaster in Sri Lankan sea. Mar Pollut Bull, 2022. 184,114074.DOI: 10.1016/j.marpolbul.2022.114074.

ආචාර්ය ප්‍රදීප් ගජනායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව
තාක්ෂණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සමකර්තෘ -සජානි එච්.කොළඹගේ මිය
පර්යේෂණ සහකාර
ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව
තාක්ෂණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Author

Related Articles

Back to top button