Must Readජනප්‍රියතම ලිපිවර්තමාන යතාර්ථය

වර්තමාන යථාර්ථය යනු මායා ලොවක්ද?

ඩොනල්ඩ් වික්‍රමතන්ත්‍රී

වර්තමාන යථාර්ථය (Augmented Reality, AR) යනු තථ්‍ය ලෝකයේ පවතින වස්තූන් හා පරිගණකයන් මගින් වැඩි දියුණු කරන ලද තිමාණ (3D) තාත්වික ලෝක පරිසරයක අන්තර්ක්‍රියාකාරී අත්දැකීමකි. මෙහිදී සමහර විට දෘශ්‍ය, ශ්‍රවණ, ස්පර්ශ (, පීඩන, වේදනා, ගන්ධය ආදී විවිධ සංවේදක ක්‍රම හරහා අපට මවන ලද තාත්වික අත්දැකීමක් ලඟා කරයි.

AR හි මූලික පදනම වන්නේ සරල ඩිජිටල් මවා පෑමකින් ඔබ්බට ගොස් නරඹන්නා හට සත්‍ය යැයි හැඟෙන තරමටම වූ කෘත්‍රිම ලෝකයක් මවා පෑමයි. 1990 දශකයේ මුල් භාගයේදී පරිශීලකයින් සඳහා උසස් මිශ්‍ර යථාර්ථ අත්දැකීම් ලබාදෙමින් ඇරඹුනු ක්‍රියාකාරී AR පද්ධතීන්, 1992 දී එක්සත් ජනපද ගුවන් හමුදාවේ ආම්ස්ට්‍රෝං රසායනාගාරයේ දී තව දුරටත් සංවර්ධනය කරන ලදි. වාණිජමය වශයෙන් වැඩි දියුණු කළ යථාර්ථවාදී අත්දැකීම් මුලින්ම හඳුන්වා දුන්නේ හුදු විනෝදාස්වාදය සහ පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයටය. .

පසුව, තව දුරටත් වැඩි දියුණු කරන ලද රියැලිටි යෙදුම් අධ්‍යාපනය, සන්නිවේදනය, වෛද්‍ය විද්‍යාව සහ විනෝදාස්වාදය වැනි වාණිජ කර්මාන්ත සඳහා ද ව්‍යාප්ත විය.

අතථ්‍ය යථාර්ථය (Virtual Reality)  සමඟ සැසඳීම

අතථ්‍ය යථාර්ථයේ (VR) දී, පවතින යථාර්ථය පිළිබඳ පරිශීලකයින්ගේ අවබෝධය මුළුමනින්ම පදනම් වී ඇත්තේ අථත්‍ය (මවන ලද) තොරතුරු මත ය. වර්තමාන යථාර්ථයේ (AR)දී පරිශීලකයාට යථාර්ථය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා, අමතර වශයෙන් පරිගණක මගින් ජනනය කළ තොරතුරු ද සපයනු ලැබේ. නිදසුනක් ලෙස, ගෘහ නිර්මාණ ශිල්පයේ දී, නව ගොඩනැගිල්ලක ඇතුළත ඇවිදීමේ අනුකරණයක් නිර්මාණය කිරීමට VR භාවිතා කළ හැකිය; එම සැබෑ අත්දකීම් වඩාත් ඔපවත් කිරීමට, එම ගොඩනැගිල්ලෙහි ව්‍යුහයන් සහ පද්ධති පෙන්වීමට AR භාවිතා කළ හැකිය. තවත් උදාහරණයක් පවසන්නේ නම් නිෂ්පාදකයෙකු හට තම නිෂ්පාදනයන් සත්‍ය ලෝකයේදී භාවිතය කෙබඳු වන්නේ දැයි පාරිභෝගිකයා හට නිෂ්පාදනය මිලදී ගැනිමටත් පෙරම මවා පෙන්විය හැකි වේ. එමෙන්ම AR සහායෙන් නවීන යන්ත්‍රයක් නැරඹීමේදී haptic feedback මගින් අපට එය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ඇතිවන කම්පනය අතට සංවේදනය වන බවත් දැනෙනු ඇත.

සුහුරු කණ්නාඩියක් පැළඳි අයෙක්

 

වර්තමාන යථාර්ථය සඳහා දෘඩාංග අවශ්‍යතා

වර්තමාන යථාර්ථය සඳහා දෘඩාංග අවශ්‍යතා ලෙසක්ෂුද්‍ර සකසනයක් (Processor), සංදර්ශකයක් (Display), විවිධ සංවේදක සහ ආදාන උපාංග (input devices) භාවිතා වේ. සුහුරු ජංගම දුරකථන (Smart Phone) සහ පෙති පරිගණක වැනි නවීන ජංගම උපාංගවල මෙම අංග දැනටමත් අඩංගු වන අතර ඒවාට බොහෝ විට කැමරාවක් සහ ත්වරණමාන (accelerometer), ජීපීඑස් (GPS) සහ මාලිමා යන්ත්‍ර වැනි සංවේදක ද ඇතුළත් වන හෙයින්එම උපකරණ AR අත්දැකීම් ලබා දීමට සුදුසුකම් සපුරාලයි. මෙහිදී භාවිතා වන display වල (HUD) විශේෂත්වය වන්නේ එය AR අත්දැකීම් මෙන්ම පරිශීලකයා හට සැබෑ ලොව දැකීමට ඉඩ සලසන්නේ ද එකම තිරයක්මගින් වීමයි. නූතන සංදර්ශක අතරට සැබෑ ලෝක දෘෂ්ටිය වළක්වා ගැනීමට කැමරා භාවිතා කරන ලද ඇස් කණ්ණාඩි භාවිතා කෙරෙන අතර එමගින් අපට සත්‍ය ලෙස පෙනෙන දර්ශනයෙහි වැඩි දියුණු කළ දර්ශනයක්නැවත ප්‍රදර්ශනය සිදු කරයි

ශීර්ෂ සංදර්ශකයේ (Head Up Display-HUD) යනු විනිවිද පෙනෙන සංදර්ශකයක් වන අතර එය, පරිශීලකයින් හට ඔවුන්ගේ සාමාන්‍ය දෘෂ්ටි කෝණයෙන් බැහැරව බැලීමට අවශ්‍ය නොවී, දත්ත එම තිරය මතම ඉදිරිපත් කරයි. යථාර්ථය වැඩි දියුණු කිරීම සඳහා මෙම ශීර්ෂ සංදර්ශක මුලින්ම ගුවන් නියමුවන් සඳහා 1950 දශකයේ දී සංවර්ධනය කරන ලද අතර, සරල පියාසැරි දත්ත ඔවුන්ගේ දෘෂ්ටි පථය තුලටම ප්‍රක්ෂේපණය කිරීම මඟින් ඔවුනට තම “හිස ඔසවාම” තබා ගැනීමටත්, වරින් වර උපකරණ දෙස බැලීම අවම කරලීමටත් හැකි විය.

මෙම HUD හි සංවර්ධිත පියවරක් ලෙස ඇස තුලම පලඳින කාච (contact lenses) සහ එම කාචය තුලටම ඇතුලු කල තුනී කැමරාවක් මගින් HUD පැළඳීමකින් තොරව අපට AR අත්දැකීම් විඳ ගැනීමට පුලුවන.

අතථ්‍ය දෘෂ්ටි විතානය (Virtual Retinal Display)

අතථ්‍ය දෘෂ්ටි විතානය යනු වොෂිංටන් විශ්ව විද්‍යාලයේ මානව අතුරු මුහුණත් (Human Interface Technology) තාක්ෂණ විද්‍යාගාරය තුල සංවර්ධනය වෙමින් පවතින පුද්ගලික ප්‍රදර්ශන උපකරණයකි. මෙම තාක්ෂණය සමඟ, යම් දර්ශනයක් නරඹන්නාගේ ඇසේ දෘෂ්ටි විතානයට කෙලින්ම පතිත කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉහළ විභේදන සහ ඉහළ ප්‍රතිවිරෝධතා සහිත (high resolution and high contrast) දීප්තිමත් රූප දැකිය හැකි වීමයි. මෙම තාක්ෂණයෙහි ආරක්ෂිත බව පිළිබඳ සොයා බැලීමට විවිධ දෘෂ්ටි ආබාධ ඇති රෝගීන් ඇසුරින් කල පරීක්ෂණ වලදී හෙළි වූයේ එය අතුරු ආබාධ වලින් තොරව භාවිතා කල හැකි තාක්ෂණයක් බවත්, අතිරේකව එවැනි රෝගීන් හට නැවත පෙනීම ලබා දීමටත් එයට හැකියාවක් ඇති බවත් ය.

ජාලකරණ අවශ්‍යතා

ජංගම (mobile) සහ විශේෂයෙන් පැළඳිය හැකි උපාංග (wearable devices) පුළුල් ලෙස භාවිතා කිරීම නිසා AR යෙදුම් ජනප්‍රිය වෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම තාක්ෂණය උදෙසා වඩාත් ප්‍රබල සකසනයන් (processors) අවශ්‍ය වීම සහ ජංගම උපාංගවල බැටරි බලයේ සීමා සහිත බව හේතුවෙන් එහි පුළුල් ව්‍යාප්තිය සීමා වී ඇත.

මෙයට විසඳුමක් ලෙස යෝජනා වන offloading data processing (පරිගණක සම්පත් අධිකව අවශ්‍ය වන අවස්ථා වලදී දුරස්ථව පවතින වෙනත් දෘඩාංගවල සහාය ලබා ගැනීමේ තාක්ෂණය හා වළාකුළු ආගණනය (cloud computing) වැනි ක්‍රමවේද පැවතියත් එයට ද මන්දගාමී අන්තර්ජාල හා පරිගණක ජාල තත්වයන් (protocols) හරස් වී ඇත. එහෙත් අද මෙම යටිතල පහසුකම් සංවර්ධනය වන වේගය අනුව AR හි අනාගතය එතරම් අඳුරු නොවනු ඇතැයි සැලකේ.

ආදාන උපාංග

අපට AR ලෝකය තුල සැරිසැරීමට උපකාරී වන ආදාන උපක්‍රම අතරට පරිශීලකයාගේ කථන වචන, පරිගණක උපදෙස් වලට පරිවර්තනය කරන කථන හඳුනාගැනීමේ පද්ධති (speech recognition) සහ දෘශ්‍ය හඳුනාගැනීමෙන් පරිශීලකයාගේ ශරීර චලනයන් අර්ථ නිරූපණය කරන අභිනය හඳුනාගැනීමේ පද්ධති (gesture recognition systems) හෝ යෂ්ටියක් (joy stick ), ස්ටයිලස්, පොයින්ටර්, අත්වැසුම් හෝ වෙනත් ශරීර‍යේ පළඳින ඇඳුම් වැනි පර්යන්ත උපාංග භාවිතා වේ.

වර්තමාන යථාර්ථයේ භාවිතාවන්

ක්‍රීඩා සහ විනෝදාස්වාදයේ සිට වෛද්‍ය විද්‍යාව, පුරාවිද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය,අධ්‍යාපනය සහ ව්‍යාපාර දක්වා වූ පුළුල් පරාසයක ක්ෂේත්‍රයන් සඳහා වර්තමාන යථාර්ථය යොදා ගැනීමේ විභවයක් පවතී. ජුරාසික් යුගය පිළිබඳ අතත්‍ය අත්දැකීමක් ලබන රසිකයා, තමා සැබැවින්ම ජුරාසික් යුගයේ අතරමංව සිටිනවා වැනි වූ අත්දැකීමක් ලබනු ඇත.

 

 

පුරාවිද්‍යා ක්ෂේත්‍රය

අද පවතින භූ දර්ශනයට, පුරාවිද්‍යාත්මක ලක්ෂණ එකතු කිරීමෙන් (පරිගණකයෙන් ජනනය කරන ලද නටබුන්, ගොඩනැගිලි, භූ දර්ශන හෝ පුරාණ මිනිසුන් පවා) AR පරිශීලකයින්ට තම නිවසින් පිටව නොවීම අතීතය විමර්ශනය කිරීමට ඉඩ සැලසේ.

STEM අධ්‍යාපනය

අධ්‍යාපනික සැකසුම් වලදී, සම්මත ඉගෙනුම් ක්‍රමවේදයන්ගෙන් බැහැර ව සිසුන් හට අතත්‍ය පරිසරය තුලදීම (හිස පැළඳි හෙල්මටයක් හා joy stick එකක් වැන්නක් මගින්) වීඩියෝ මගින් සහ තම කුතුහලය පවතින දෑ පිළිබඳව ෆ්ලෑෂ් කාඩ්පතක් පෙරලීමෙන් කරුණු උකහා ගත හැකිවේ. අද ජීවත් වන අයෙකුට මෙය පෙනෙනු ඇත්තේ සිසුවා වාතය තුල අතපය හසුරුවන මනෝ විකාරයෙන් පෙළෙන්නෙකු ලෙසට විය හැක.

වර්තමාන යථාර්ථයභාවිතයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙක්

 

ප්‍රාථමික පාසල් ළමුන් අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් වලින් පහසුවෙන් ඉගෙන ගන්නා හෙයින්, පන්ති කාමරයේදී ඉගැන්වීමට අසීරු තාරකා මණ්ඩල සහ සෞරග්‍රහ මණ්ඩලය ආදිය තුල අතත්‍යව සැරිසරමින් (තව දුරටත් කඩදාසි පොත් හා සාම්ප්‍රදායික වීඩියෝ දසුන් වලින් බැහැරව) පහසුවෙන් ඉගෙනුම ලබනු ඇත. එමගින් පාසැල සහ සැබෑ ලෝකය අතර ඇති පරතරය බිඳ වැටෙනු ඇත. ගුරුභවතුන් ද තව දුරටත් ග්‍රහලෝකාගාරය වෙත සංවිධානය කරන අධ්‍යාපන චාරිකා නවතා දමනු ඇත.

උසස් අධ්‍යාපනයේදී, ත්‍රිමාණ යෙදුම් මඟින් ඉංජිනේරු සිසුන් හට යාන්ත්‍රික කොටස් එකිනෙකින් වෙන් කරමින් ඉගෙනීමටත්, රසායන විද්‍යාවේ දී AR යෙදුම් මගින් අණුවක අවකාශීය ව්‍යුහය දෘශ්‍යමාන කිරීමට හා රසායනාගාර උපකරණ භාවිතා කිරීමටත් හැකිවනු ඇත. වෛද්‍ය සිසුන් හට තව දුරටත් සත්‍ය මිනිස් අවයව අවශ්‍ය නොවන අතර අතත්‍ය ලෝකය තුල මිනිස් සිරුරේ විවිධ පද්ධති ත්‍රිමාන ලෙස දෘශ්‍යමාන කළ හැකි වනු ඇත.

 

කාර්මික නිෂ්පාදන හා වෙළඳාම

නිෂ්පාදන ක්‍රියාවලියේදී සේවකයාගේ HUD තුලින්ම තම ක්‍රියාවලියට අදාළ වන ඩිජිටල් උපදෙස් නැරඹීමට ඉඩ ලැබෙන නිසා කඩදාසි අත්පොත් සමඟ තව දුරටත් ගැටීම අනවශ්‍ය වනු ඇත. මුද්‍රිත අත්පොත් හා සසඳන විට ඩිජිටල් උපදෙස් වඩාත් පහසුවෙන් සංස්කරණය කල හැකි බැවින් සේවකයා හට වෙනස් වන නිෂ්පාදන මෝස්තරවලට වේගයෙන් අනුවර්තනය වීමට සැලසේ. එමගින් වැඩ කරන මොහොතේදීම අත්පොතක් දෙස බැලීමේ අවශ්‍යතාවය ඉවත් වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව වැඩි වන අතරම ඔහුගේ ඵලදායිතාවය ඉහල නැංවීමට ද උපකාරී වේ.

පාරිභෝගිකයා හට තමන් මිල දී ගැනීමට යන භාණ්ඩය, මිල දී ගැනීමටත් පෙරම අතත්‍ය පරිසරය තුල දී විවෘත කර, ස්පර්ශ කර, ක්‍රියාත්මක කර, එය භාවිතයෙන් ලබන තෘප්තිය කලින්ම අත්විඳීමට හැකි වනු ඇත.

හදිසි තත්ව කළමනාකරණය

හදිසි ආපදාවන් ඇති වීම ගැන අනාවැකි කීම දුෂ්කර හෙයින් වගකිව යුතු පාර්ශ්ව වලට යම් ස්ථානයක අනතුරක් ඇති වීමට පෙරම ගලවා ගැනීමේ මෙහෙයුම් සැලසුම් කිරීමටත්, කාර්යක්ෂමව ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර සහන සේවකයන් අදාළ ස්ථානයට යොමු කිරීමටත් AR තාක්ෂණය භාවිතයෙන් හැකිවනු ඇත.

සමාජ අන්තර්ක්‍රියා

සමාජ අන්තර්ක්‍රියා ක්ෂේත්‍රයේදී වර්තමාන Zoom, Telegram වැනි යෙදුම් වලින් ඔබ්බට ගොස්, සත්‍ය ලෙසම ලඟ සිටම සංවාදයන්හි නියැලෙනවා වැනි අත්දැකීමක් ලඟා කිරීමට AR තාක්ෂණයට හැකි වේ

සෞඛ්‍ය ආරක්ෂණය

වැඩි දියුණු කරන ලද යථාර්ථ යෙදුම්වලින් (AR) ශල්‍ය වෛද්‍යවරුන්ට රෝගියාගේ අධීක්ෂණ දත්ත, ප්‍රහාරක නියමුවෙකුගේ ශීර්ෂ සංදර්ශකයේ (HUD) ශෛලියෙන් සපයන අතරම, ක්‍රියාකාරී වීඩියෝ ඇතුළු රෝගියාගේ නිරූපණ වාර්තා (x-ray, scan, MRI වැනි) වෙත කඩිනමින් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි. මිනිසුන් අතර සුලභව පවතින, කැරපොත්තන් භීතිකාව වැනි තත්ව සඳහා ප්‍රතිකාර කිරීමේදී AR තාක්ෂණය දැනටමත් භාවිතා කෙරේ.

ගුවන් නියමු පුහුණුව

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ගුවන් පර්යේෂණ විද්‍යාගාරයේ පර්යේෂකයෝ ගුවන් පියාසැරියක ස්වරූපයෙන් වැඩි දියුණු කළ අතත්‍ය යථාර්ථ යෙදවුම් භාවිතා කරමින් පුහුණුවන නියමුවන් හට ගුවන් යානයක් පදවන ආකාරය මෙන්ම විවිධ දේශගුණික තත්ව යටතේ ගොඩබසින ආකාරය ඉගැන්වීමට පියාසර සිමියුලේටරයක් නිර්මාණය කරන ලදි. මෙය දැන් මගී ගුවන් යානා පැදවීමට පුහුණුවන නියමුවන් හට ගොඩබිම දීම පියාසැරිය පුහුණු කිරීමට යොදා ගන්නා වාණිජ නිර්මාණයක් බවට පත්ව ඇත.

එයාර්බස් ආයතනයේ A350 ගුවන් නියමු සිමියුලේටරයක්

 

 

මේ අනුව අපට පෙනෙන්නේ වර්තමාන යථාර්ථය සමඟින් අනාගත ලෝකය තුල පරිගණකය අදටත් වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන බවත්, ඒ අරභයා වන යටිතල පහසුකම් සංවර්ධනය හිතා ගැනීමටවත් නොහැකි තරම් දියුණු වනු ඇති බවත්, අනාගත පරපුර හුනස්නෙන් නොනැඟිටින පුද්ගලයන්ගෙන් සමන්විත වනු ඇති බවත්‍ ය.

එය වෙනමම සාකච්ඡාවට ලක් කල යුතු ගැටළු ඇති කිරීමට පාදක වනු ඇති මුත් අනාගත ලොව, අද ජීවත් වන මිනිසෙකු, තමා රාත්‍රියේ දී සුව නින්දෙන් දකින සිහිනයක් මෙන් අපූර්වත්වයෙන් යුක්ත වනු ඇතැයි නිසැකවම කිව හැක.

මූලාශ්‍රය :

https://en.wikipedia.org/wiki/Augmented_reality#:~:text=Augmented%20reality%20(AR)%20is%20an,%2C%20haptic%2C%20somatosensory%20and%20olfactory.(accessed July 18 2021)

ඡායාරූප :

https://www.google.lk/url?sa=i&url=https%3A%2F%2Fww2.frost.com%2Fnews%2Fpress-releases%2Ffrost-sullivan-examines-seven-virtual-and-augmented-reality-application-areas-boosted-by-global-5g-deployment%2F&psig=AOvVaw2UuKDXG5kVCqNA3RXP72vo&ust=1626790844488000&source=images&cd=vfe&ved=0CAoQjRxqFwoTCLjIn7Gq7_ECFQAAAAAdAAAAABAJ

https://www.google.lk/url?sa=i&url=https%3A%2F%2Fwww.airbus.com%2Fnewsroom%2Fnews%2Fen%2F2017%2F11%2Fbringing-airline-experience-into-a350-1000-testing.html&psig=AOvVaw2nKQlvrY0z61Rb-Z6FEl_b&ust=1626790584871000&source=images&cd=vfe&ved=0CAoQjRxqFwoTCIDsuKqs7_ECFQAAAAAdAAAAABAD

Author

Back to top button