Must ReadScience InsiderUncategorizedපර්යේෂණ

තොටිල්ල පදවන අත විද්‍යාගාරය වෙත

චින්තන විජයවර්ධන ආතර් සී.ක්ලාක් ආයතනය

ලොවේ පැවැත්මට හේතුවන දරුවන් බිහිකිරීම, මව් කිරි ලබාදීම, ලදරුවන් රැකබලා ගැනීම, දරුවන් යහමඟට ගෙන හොඳ පුරවැසියෙකු සමාජගත කර හොඳ යහපත් සමාජයක් බිහි කිරීම කාන්තාවකට උරුම වුවත් අද වර්තමාන තරඟකාරී සමාජයේ පවතින ආර්ථික අරගලය හමුවේ ඉන් එහාගිය දායකත්වයන් සමුහයක් ලබාදෙමින් සමාජයට විශාල වැඩ කොටසක් කාන්තාවන් විසින් ඉටු කරයි.
කාන්තාවන් වර්තමානයේ පිරිමියා හා සමවන තැනක් ඉල්ලුවත් කාන්තාවන්ට එම තැන ලබාගැනීමට නොහැකි වී ඇත්තේ හුදෙක් කාන්තාවක වීම මෙන්ම ඇගේ ගමන විදුරු සිවිලිමකින් වැසි තිබෙන නිසාවෙන් බව විද්වත් බොහෝදෙනාගේ මතයයි. මෙයට හොඳ උදාහරණයක් අපට ඇමරිකාවෙන් පසුගියදා අසන්නට ලැබුණි. ඒ 2016 දී ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිලරි ක්ලිටන් මැතිණිය සිය පරාජය පිළිගැනීමේ කතාවේ දී තම නිළධාරීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ “තමා එල්ල කළ පහරින් කාන්තාවන් වටා ඇති මේ විදුරු සීලිම ඉරිතැලී ගිය බවත් ඉදිරියේදී කාන්තාවන් මේ විදුරු සීලිම බිඳ දමනු ඇති බවත්ය”

අතීතයේ සිට මේ දක්වා වූ බොහෝ ක්ෂේත්‍ර වල ආදිපත්‍යය හොබවන්නේ පුරුෂයන්යග කාන්තාවන් විවිධ ක්ෂේත්‍රයන්හි මුල් තැනට ක්‍රමයෙන් යොමු වුවත් විද්‍යාව ආදී ක්ෂේත්‍රයන් සඳහා යොමුවීම විරලය. නොබෙල් ත්‍යාග දිනාගත් සමස්තය දෙස බැලූ විට ද විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට යොමු වූ විද්‍යාඥවරියන්ගේ ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගෙන තිබේ. එය 4% ඉක්මවා නැත. අතීතයේ විද්‍යාඥයින්ගේ ප්‍රසිද්ධ ඡායරූප පිරික්සීමේ දී පවා කාන්තාවන් දැකිය නොහැකි තරම් වීමෙන් ඒ බව පැහැදිළි වේ. විසිවන සියවසේ මහා විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් වැනි ලොව දිනූ විද්‍යාඥයන් පෙනී සිටින බොහෝ ඡායාරූප වල පවා දැකිය හැකි එකම විද්‍යාඥවරිය වන්නේ මාරිකියුරි මැතිනිය පමණක් වීම මෙලෙස විද්‍යා ක්ෂේත්‍රයට පැමිණෙන කාන්තාවන්ගේ විරල වීමට සාක්ෂි දරයි. එහෙත් මේ අභියෝගය ජයගත් විද්‍යාඥවරියන් ද සිටිති. ඒ අය අතරින් කිහිප දෙනෙක් පහත දැක්වේ.

• ලොව මුල් වරට නොබෙල් ත්‍යාගය හිමිකරගත් කාන්තාව ලෙස ඉතිහාස ගත වන්නේ මාරි කියුරි මැතිණියයි (1903) විකිරණශීලිතාවය සොයාගනිමින්ල රසායනික විද්‍යාවට මෙන්ම භෞතික විද්‍යාව සඳහා ද නොබෙල් ත්‍යාග දිනා ගැනීමට හැකි වූ ඇය ඉතිහාස ගත වූ කාන්තාවකි.

• බ්‍රිතාන්‍ය ජාතික ඩොරති මාරි ක්‍රොෆ්ට් හොඩ්කින් මැතිණිය ඉතිහාසයට එක්වන්නේ X – කිරිණ මඟින් ජීව අණුක ව්‍යුහ සොයාගැනීම, පෙනිසිලීන් හා ඉන්සියුලින් වල ව්‍යුහ නිර්ණය කිරීම, විටමින් ඊ-12 සම්පුර්ණ ව්‍යුහ සොයා ගැනීම නිසායි. ඇය රසායන විද්‍යාවට කළ මෙහෙය වෙනුවෙන් 1964 දී නොබෙල් ත්‍යාගයට ද හිමිකම් කියූ කාන්තාවකි.

 

• බ්‍රිතාන්‍ය ජාතික රසායන විද්‍යාඥවරියක් වන රෝයලින්ඩ් ෆ්‍රැන්ක්ලින් මැතිණිය ඉතිහාසයට එක්වන්නේ DNA අණුවේ ව්‍යුහය සොයාගැනීම, වෛරස්වල ව්‍යුහය සොයාගැනීම ඇතුළු මහඟු මෙහෙයන් රැසක් ඉටුකළ විද්‍යාඥවරියක් ලෙසිනි. එහෙත් ඇය තම ජීවිත කාලය තුළ දී ඇගයිමට ලක් නොවීම කණගාටුවට කරුණක්.

• භෞතික විද්‍යාඥවරියන් අතර ඇමරිකානු ජාතික මාරියා මේයර් පරමාණුක ආකෘතිය වර්ධනය කිරීමටත්, ලේසර් කිරණ වැඩිදියුණු කිරීමටත් කටයුතු කළ අයෙකි. ඇය 1963 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිකරගත් ලොව දෙවන කාන්තාව ලෙස ද ඉතිහාසයට එක් විය.

මෙම කාන්තා විද්‍යාඥවරියන් නොබෙල් ත්‍යාග දිනාගැනීමට පවා සමත් ව ඇත්තේ අමිල මෙහෙයක් ලෝකය වෙනුවෙන් ඉෂ්ඨ කිරීම වෙනුවෙනි. එදා විද්‍යාගාරය වෙත යොමු වූ කාන්තා පිරිසට වඩා වැඩි පිරිසක් අද විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොමුවීමක් දක්නට ලැබුනත් ඔවුන් සිදුකරන පර්යේෂණ, නව සොයාගැනීම් ප්‍රයෝගික වීම මෙන්ම කාන්තාවක් විසින් ඉටු කරන මෙහෙය ඇගයීමට පාත්‍ර වීමේ ද අඩුවක් දක්නට ලැබේ.
මේ පිළිබඳ සොයා බලා ඔවුන් දිරිගැන්වීමක් මෙන්ම නිසි ඇගයීමකට ලක්කිරීම සිදුකළ යුතුව ඇත. එවැනි දිරිගැන්වීම් තුළින් කාන්තාවන් මේ ක්ෂේත්‍රය තුළට තව තවත් යොමු කරගැනීමට හැකි වේ. එහෙත් උපතින් කාන්තාවන්ට උරුම වූ කාර්යයන්ගෙන් තරමක් බැහැරට යමින් තමන්ගේ හැකියාවන්, අධ්‍යාපනය තුලින් මුවහත් කර ගනිමින් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් වැඩදායි සේවාවන් කළ කාන්තාවන් පිරිසක් ද නැතුවා ද නොවේ.

විද්‍යාගාරය වෙත යොමුව මිනිසාට වැළඳෙන විවිධ රෝග කාරක පිළිබඳව සිදුකළ පර්යේෂණල සමාජ වසංගතයන් වෙනුවෙන් සිදුකළ පර්යේෂණ පරිසර ක්‍රියාකාරකම් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී විවිධ සොයාගැනීම් සිදුකළ වෛද්‍යවරියන්ද වෙති.
ඒ අය අතරින් ලාදුරු රෝගීන්ට එන්නත් කළ හැකි ප්‍රතිකාරයක් නිපද වූ ඇලිස් ඔගස්ටා විද්‍යාඥවරිය, ලිංගික වර්ණ දේහ සොයාගත් නේති ස්ටීවන්ස් නම් ජාන විද්‍යාඥවරිය ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට ක්‍රියාකළ මෙන්ම මව් කිරි සඳහා ආදේශක දීමට විරුද්ධව හඬක්‌ නැගූ ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා පිලිබඳ ප්‍රථම මහාචාර්යවරිය වූ ළමා රෝග විශේෂඥ මහාචාර්ය ප්‍රියානි සොයිසා වැනි වෛද්‍යවරියන් තල් මසුන් වෙනුවෙන් පර්යේෂණ පවත්වා ලොව ප්‍රමුඛතම කාන්තාවන් සිය දෙනා අතරට එක්ව සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන ආචාර්ය ආශා ඩිවෝස් මහත්මියත් උදාහරණ ලෙස දැක්විය හැකියි.

ලොවට වැඩදායි විද්‍යාඥවරියන් තව තවත් ශ්‍රී ලංකික කාන්තාවන් අතරින් ද බිහිකර මිනිසාගේ අනාගතය වෙනුවෙන් මාහැඟි සේවයක් ඉටු කරලීම සඳහා විද්‍යාගාර වෙත යොමු වීම අත්‍යවශ්‍ය බැවින් ඒ වෙත වැඩි වැඩියෙන් පා තබන ලෙස උගත් බුද්ධිමත් කාන්තා පරපුරට මෙයින් ආරාධනා කොට සිටිමු.

 

 

Author

Related Articles

Back to top button