Must Readජනප්‍රියතම ලිපි

˝විද්‍යා˝ දෙවන දිගහැරුම තුළින් අසිරිමත් විශ්වයේ චමත්කාරය සොයා යමු.

විද්‍යා රූපවාහිනී වැඩසටහන

රාත්‍රිය සුන්දර බව ඔබ අප කවුරුත් එකඟ වන විශ්වීය සත්‍යක්. රාත්‍රියේ ඒ අපූර්ව සුන්දරත්වය නිර්මාණය කරන්නේ අහස්තලය බව අවිවාදිත කරුණක්. කෘත්‍රිම පහන් ආලෝකයෙන් ආලෝකවත් වූ නාගරික ප්‍රදේශයක සිට මේ අපූර්වත්වය නියමාකාර ලෙසින්ම වින්දනය කිරීමට බොහෝවිට ඔබට නොහැකි වනු ඇති. එවැනි ප්‍රදේශයකින් දුරස්ව පිහිටි  ස්ථානයක  සඳ පායා නොමැති වලාකුළු වලින් තොර, අඳුරු අහස් කුසක් අබිමුව ඔබ සිටින අයුරු මතකයට නගන්න. දැන් ඔබ ඉහලට නෙත් යොමු කළ විට ඔබ නෙත ගැටෙනු  ඇත්තේ මෙලොව කිසිදු කවියෙකුට මෙතෙක් නියමාකාරයෙන්ම   වර්ණනා කළ නොහැකි වූ, කිසිදු සිත්තරෙකු ගේ පින්සල් තුඩින් එලෙසින්ම  ප්‍රතිනිර්මාණය කළ නොහැකි වූ අන්දමේ අපූර්ව දර්ශනයක් බව ඔබට වැටැහෙනු ඇති.   මෙකී අපූර්ව අහස් කුසේ හැසිරීමද ඇතුළුව අසිරිමත් විශ්වයේ චමත්කාරය නවීන තාක්ෂණය හා මුසුව ශ්‍රී  ලාංකික ජනතාවට දැක බලා ගැනීමට ඉඩකඩ සලසා දීමට විද්‍යා – රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම අප වෙන් කළා.

වසර දහස් ගණනක් මුළුල්ලේ මිනිසා ගවේෂණාත්මකව සිය නෙත් සිත් යොමු කරමින් විශ්වයේ හැසිරීම පිළිබඳව විමසිලි සහගත සිතින් පසු වුණා.  ඒ විමසිලිමත් බව තුළින් අපේ මුතුන් මිත්තන්ගේ  සිතිවිලි ගැඹුරු ප්‍රශ්න බවට පරිවර්තනය වන්නට ඇති.

විශ්වය නිර්මාණය වූයේ කෙසේද?

පෘථිවිය, චන්ද්‍රයා සහ සූර්යයා කොතැනක සිට පැමිණියේද?

ග්‍රහලෝක සහ තාරකා සෑදී ඇත්තේ කුමකින්ද?

මිනිසුන් ලෙස අප මෙම වස්තූන් හා ගැලපෙනුයේ කෙසේද  ?

කාලය හා අවකාශය යන විශ්වීය විෂය පථය තුළ අපගේ ස්ථානය කුමක්ද?

මෙකී කුතුහලයෙන් පිරි ප්‍රශ්න වලට පිළිතුරු  සොයා යාම තුළින් ඈත අතීතයේ සරල තාක්ෂණයන්හි සිට වර්තමානයේ ග්‍රහලෝක තරණයට ද සක්‍යතාව දක්වමින් අති නවීන තාක්ෂණ යෙදවුම් දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ තාක්ෂණය සංවර්ධනය වූ ආකාරය, එකී දීර්ඝ ගමන් මගේ දී මිනිසා ලබාගත් අතිමහත් ජයග්‍රහණ, මෙම විෂය ක්ෂේත්‍රය  වර්තමානයේ සමාජයට මෙන්ම ජන ජීවිතයට බලපෑම් කරන අයුරු ආදිය ඇතුළුව හරවත් තොරතුරු සම්භාරයක්   පිළිබඳව දැනුවත් වෙන්න.

මේ මස 26 වන ඉරිදා රාත්‍රී 7.00 කණිසමට ජාතික රූපවාහිනී නාලිකාව හරහා ˝ විද්‍යා ˝ – වාර්තා වැඩසටහන සමග එක්වන්න.

Author

Check Also
Close
Back to top button