කතුවැකියරොබෝ තාක්ෂණය

අළුතින්ම බිහිවන රොබෝ කෘමීන්: කෘමීන් කෙරේ අප සතුව ඇති කරුණාව උදුරාගනීද?

හසිතා කපුගමගේ

කෘමීන් යනු සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. එවන් වූ කෘමීන් රාශියක් මෙන් හැසිරවිය හැකි රොබෝ පොකුරු නිර්මාණය වුවහොත් ඉන් ඇතිවන බලපෑම කෙසේ වේවිද?

කෘමීන් යනු සොබාදහමෙහි තවත් එක් අපූරු නිර්මාණයකි. ඔවුන්ගේ සිරුරෙහි ප්‍රමාණය, සැහැල්ලු බව මෙන්ම ඕනෑම අනපේක්ෂිත පරිසරයක් තුල වේගවත්ව චලනය වීමට ඔවුන් සතුව ඇති හැකියාව විශ්මිතය.

මෙම හේතුව නිසාම කෘමී ලොවෙහි  අඩංගු හැඩතල හා චලනයන් අනුකරණය කිරීම කෙරෙහි මෑත කාලීනව බොහෝ රොබෝ විද්‍යාඥයින් යොමු වී ඇත.

නමුත් ඇතැම් ස්වාභාවික කෘමීන් දැනටමත් අප කෙරේ තර්ජනයක්ව තිබියදී මෙවැනි රොබෝ කෘමීන් බොහෝ නිර්මාණය කිරීම නිසා අපට අනාගතයේදී නොසිතූ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවේවිද?

කුඩා කැමරා හෝ සංවේදක තම සිරුරෙහි රඳවන ලද කෘමී ප්‍රමානයේ රොබෝවරුන්ගෙන්  බොහෝ ප්‍රයෝජන ලබාගත හැක. උදාහරණයක් ලෙස සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් දියත්කිරීමේදී, යටිතල පහසුකම් පරික්ෂාවේදී, කෘෂිකාර්මික ක්‍රියාවලි වේගවත් කිරීම් යනාදියේදී වැනි අවස්ථා සැලකිල්ලට ගතහැක.

නමුත් මෙවැනි රොබෝවරුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් ඔවුන් නිර්මාණය කිරීමේදී සියුම් කොටස් කීපයක් එකලස් කිරීමට සිදුවන බැවින් එය ඉතා අපහසු කාර්යයකි.

කෙසේ නමුත් මෙමෙ අපහසුතා අභියෝග සියල්ල ජයගනිමින් මෑතකදී වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් රොබෝෆ්ලයි නැමැති 74mg බරැති (ටූත් පික් එකකට වඩා තරමක් බරැති), කාසියක් තරම්වන, බත්කූරකුගේ හැඩැති, තටු ගසා පියෑඹිය හැකි රොබෝ කෘමියෙක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

වායු අවකාශයෙහි, පොළවෙහි මෙන්ම ජල මතුපිටෙහි පවා චලනය විය හැකි මෙම රොබෝ කෘමියා, කෘමි ප්‍රමාණයේ රොබෝවරුන් තැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරන උපාංගවලට වඩා අඩු සංරචක භාවිතා කරමින් ගොඩනගා ඇත. එමඟින් එහි නිර්මාණකරනය සරල කරගැනීමට මෙම පර්යේෂකයින් සමත්ව ඇත. [1]

සාමාන්‍යයෙන් මෙවැනි රොබෝ කෘමීන් නිපදවීමේදී ඇතිවන ප්‍රධානතම අභියෝගය වන්නේ ඔවුන් නැවත ආරෝපණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමයි. [2] මන්ද ඔවුන් ඉතා කුඩා නිසා, කුඩා ඔරලෝසු සඳහා යොදා ගන්නා බැටරියක් පවා ඔවුන් මෙන් යම් ගුණයක් බරින් වැඩි බැවින් හා එහි ධාරිතාව ඉතා අල්ප බැවින් සිය ඇඟ තුළ රැඳවිය නොහැකිවීමයි.

නමුත් මේ සඳහා ඉතා සාර්ථක විකල්පයක් යොදා ගැනීමට මෙම පර්යේෂකයින් සමත්ව තිබෙනවා. ඒ සඳහා ඔවුන් රැහැන් රහිත ලේසර් කිරණ මඟින් එය ආරෝපණය කිරීමට උපක්‍රමයක් යොදාගෙන තිබෙනවා. මෙම උපක්‍රමය භාවිතා වන ලොව ප්‍රථම රොබෝ කෘමියා ලෙසද මෙනිසා මෙය හැඳින්විය හැක.

මෙහි අන්තර්ගත චලන ග්‍රහණ කැමරා කට්ටලය මඟින් මෙම  රොබෝ කෘමියා චලනය වන ස්ථානය ඉතා නිවැරදිව නිරීක්ෂණය කිරීමට හා එය ඉතා පහසුවෙන් දුරස්ථව පාලනය කිරීමට හැකියාවක් ඇත. එය මෙම කුඩා රොබෝ කෘමියාගේ චලනය ඉතා ස්ථායීව පවත්වා ගැනීමට උපකාරී වේ. තවද රැහැන් රහිතව කෘමියා වෙත විධාන යැවීමට හැකිවන පරිදි රැහැන් රහිත සම්බන්ධතාව වර්ධනය කිරීම කෙරෙහි පර්යේෂකයින් මේ වන විටත් කටයුතු කරමින් සිටිති. [3]

මෙවැනි කෘමී රොබෝවරුන්ගේ හැකියාවන් තවත් වර්ධනය කර මහා පරිමාණයෙන් නිපැදවීමෙන් අනතුරුව ඔවුන් විවිධ ප්‍රදේශයන් වෙත යොමු කිරීම මඟින් බොහෝ වාසි ලබාගත හැකිවනු ඇතැයි විද්වතුන් අනුමාන කරති. උදාහරණයක් ලෙස නල මාර්ගයක් ඔස්සේ සිදුවන ගෑස් කාන්දු වීමක් පරීක්ෂා කිරීම සඳහා, නො එසේ නම් වගා බිමක ඇති ශාකවල එක් එක් ශාකයෙහි ප්‍රගතිය මැනීම සඳහා වැනි දේ සඳහා මෙවැනි කෘමීන් රංචුවක් යොදාගත හැකිවනු ඇත. [4]

ඉහත රොබෝ කෘමියා නිර්මාණය කල පර්යේෂකයින් පිරිසම එක්වී තවත් අපූරු නිර්මාණයක් වන කෘමියෙකුට පහසුවෙන් ඔසවාගෙන යා හැකි කැමරාවක් සහිත ගමන් මල්ලක් නිර්මාණය කොට තිබෙනවා. මෙමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මිනිසාට ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරන විශ සහිත යෝධ කෘමීන් විනාශ කිරීමටයි. [5]

මූලාශ්‍රය:  https://imengine.public.prod.cdr.navigacloud.com/?uuid=F862C9AD-3D6E-4127-8369-F90D64A508E8&function=cover&type=preview&source=false&width=1050&height=550

මීට අමතරව සලඹයින් වැනි සමහර කෘමීන්ගේ ජාන වෙනස්කම් සිදුකිරීමෙන් ඔවුන් භාවිතාකර විවිධ සංවේදීතා වෙනස්ව හඳුනාගත හැකි පරිදි සකස් කිරීම මඟින් මිනිසුන්ට තර්ජනයක් වියහැකි පුපුරන ද්‍රව්‍යය පරීක්ෂාව [6] මෙන්ම වගාවන්ට අහිතකර දේ ගන්ධය මඟින් හඳුනා ගැනීම සඳහා යොමු කිරීම වැනි කාර්යයන් සඳහා යොදාගත  හැකිවනු ඇත.

අතීතයේ පටන් විවිධ අවස්ථාවලදී රොබෝ තාක්ෂණය යොදා ගැනුනු බවට සාක්ෂි ඇතත්, නුදුරු අනාගතයේදී මෙවැනි රොබෝ කෘමීන් භාවිතා කිරීමට පටන් ගැන්මත් සමඟ මී මැස්සන් වැනි පරිසරයට හිතකර කෘමී සතුන් බිය වීම් මඟින් පරිසරයේ  සාමාන්‍යය තත්වයන්හි වෙනස්කම් ඇතිවිය හැක. තවද, මෙවැනි කෘමී රොබෝවරුන් වෙත දුරස්ථව විධාන ලබා දීම මඟින් සාමාන්‍ය මිනිස් ජීවිතයන්ට තර්ජන එල්ලවිය හැකි අතරම, මිනිස් ජීවිත විනාස කිරීමටත්, යුධ අපරාධ සිදු කිරීමට අවි ආකාරෙයෙන් මේවා භාවිතා කිරීමටත් මිනිසා පෙළඹිය හැකිය.

සිතන්න; ආරක්ෂක අංශ මඟහැර යාමට කෘමීන්ට හැකියාවක් තිබේද?

1970දී පැවති සීතල යුද්ධයේදී පවා කුඩා කැමරා සවිකරන ලද පරෙවියන් ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ලබාගැනීම සිදු කෙරුනු බවට කරුණු අනාවරණය වී තිබෙනවා. [7]

තවද 1970දී එක්සත් ජනපද මධ්‍යම බුද්ධි අංශ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මිනිසුන් රහිතව හැසිරවිය හැකි Insectothopter නමින්, බත්කූරකුගේ හැඩය සහිත ස්වයංක්‍රීය නිරීක්ෂණ යානයක් නිපදවන ලදී. [8]

නමුත් අවාසනාවකට, ග්‍රෑම් 1ක් පමණ වූ මෙම රොබෝ කෘමියාට කුඩා සුලඟකට පවා ලෙහෙසියෙන් ඔරොත්තු දීමට නොහැකි වූ බැවින්, සිතූ ආකාරයෙන්ම එම ක්‍රියාන්විතය වෙත එය යොදවාගත නොහැකි විය. [9]

එවැනි දීර්ඝ ඉතිහාසයක සිට මෙවැනි ක්‍රියාවලීන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී පැවතීගෙන ඇති බැවින්, නුදුරු අනාගතයේදීම කුඩා කුරුල්ලන් හා කෘමීන්ගේ චර්යා රටා අනුකරණයෙන් සැකසෙන රොබෝ යන්ත්‍ර නිසා අපට මෙම සතුන්ද නිරීක්ෂණ කණ්ඩායම් ලෙස සැක පල කිරීමටද සිදු වනු ඇත. [10]

අතීතයේ දී සිදුකරන ලද මෙවැනි අත්හදා බැලීම් නිසා, ක්‍රමයෙන් ඒවා සංවර්ධනය කර නවීන අත්හදා බැලීම් නිමැවීමට මිනිසා පෙළඹී ඇත. එනමුත් වාසනාවකට මෙන් තවමත් මෙවැනි ස්වයංක්‍රීය ඩ්‍රෝන් කෘමීන් ඉතා දරුණු බව විද්‍යා ප්‍රබන්ධ හා රූපවාහිනී කතාමාලාවන්ට පමණක් සීමා වී ඇත. [11]

මෙවැනි කෘමීන් යොදා ගනිමින් ව්‍යාපාරිකයින්ට තම සේවා දායකයින් කෙරෙහි ඔත්තු බැලීමට හැකිවන අතරම එමඟින් සාමාන්‍ය මිනිසුන්ගේ පෞද්ගලිකත්වයටද තර්ජන එල්ල විය හැක.  එනිසා මෙවැනි නිර්මාණයන් බිහි කිරීමේදී මිනිසාට එමඟින් එල්ලවන තර්ජන සැලකිල්ලට ගනිමින් නිසි නීති පද්ධතීන් සැකසීම මෙන්ම ක්‍රියාත්මක කිරීම අනාගතයට අත්‍යාවශ්‍යම කාරණයකි.

එසේ නොවුනහොත් අනාගතයේදී අනෙක් රොබෝවරුන්ටත් වඩා මිනිසාට බොහෝ තර්ජන එල්ල කිරීමට මෙම කෘමී රොබෝ නිශ්පාදනය මග පාදනු ඇත.

[1]  Fadelli I., Science X Network & Tech Xplore 2020 Techxplore: RoboFly: An insect-sized robot that can fly, walk and drift on water surfaces.  https://techxplore.com/news/2020-01-robofly-insect-sized-robot-drift-surfaces.html (accessed 02nd. of December 2021)

[2] McQuate S. 2018 UW News: The first wireless flying robotic insect takes off. https://www.washington.edu/news/2018/05/15/robofly/ (accessed 02nd of December 2021)

[3] UW (University of Washington) 2018: The first wireless flying robotic insect takes off.

https://youtu.be/7DXuxGErs9k (accessed 01st. of December 2021)

[4] Seattle Times 2018 thegazette: Backpack-wearing bumblebees could buzz fields. https://www.thegazette.com/business/backpack-wearing-bumblebees-could-buzz-fields/ (accessed 29th. November 2021)

[5] Schlosser K. 2020 GeekWire: UW researcher put tiny tracking technology on giant hornets to help state deal with murderous pest https://www.geekwire.com/2020/uw-researcher-put-tiny-tracking-technology-giant-hornets-help-state-deal-murderous-pest/ (accessed 29th. November 2021)

[6] Skipper K. 2020 Physics World: Moth-inspired robot swarms could soon sniff out harmful substances https://physicsworld.com/a/moth-inspired-robot-swarms-could-soon-sniff-out-harmful-substances/ (accessed 29th. November 2021)

[7] Corera G. 2019 BBC News: CIA unveils Cold War spy-pigeon missions https://www.bbc.com/news/world-us-canada-49692534 (accessed 8th. December 2021)

[8] Wikipedia 2020 Wikipedia: Insectothopter https://en.wikipedia.org/wiki/Insectothopter. (accessed 8th. December 2021)

[9] Marsh A. 2017 IEEE Spectrum: https://spectrum.ieee.org/meet-the-cias-insectothopter (accessed 5th. December 2021)

[10] Central Intelligence Agency 2012 Insectothopter: The Bug-Carrying Bug: https://youtu.be/TZ3spmVqnco (accessed 5th. December 2021)

[11] Wikipedia 2021 Wikipedia: Hated in the Nation https://en.wikipedia.org/wiki/Hated_in_the_Nation (accessed 5th. December 2021)

 

Author

Back to top button