Must Readකතුවැකියපර්යේෂණ

භෞතික ලෝකයට සවිඤ්ඤානයේ බලපෑම

ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

ඔබ යම් කිසි ගමනක් යනවිටදී ඔබ පසුකර යන සෑම කෙනෙක් ගැනම, එහෙමත් නැතිනම් ඔබට පෙනෙනෙන සෑම වාහනයක් පිලිබඳව විස්තර ඔබට මතකද කියා කෙනෙකු ඔබෙන් ඇසුවහොත් ඔබ කියාවි සියලු දේ ගැනම නම් මතක නැහැ කියල. ඒ අතරින් සිදුවීම් කීපයක් ගැන පමණක් සමහරවිට ඔබට මතක තියෙන්නටද පුළුවන. එසේ වන්නට හේතුව කුමක්දැයි ඔබ දැන සිටියාඔබේ සවිඤ්ඤානය (consciousness) පිලිබඳ ගවීෂණයක් මෙම ලිපිය හරහා කෙටියෙන් විස්තරවනවා.

මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ භෞතික විද්‍යාව තුලින්  මනසේ සවිඤ්ඤාන ස්වභාවයේ අරුමය නොයෙක් පර්යේෂණ උදාහරද? ණ හා කාලීන සිදුවීම් හරහා පහදා දීමටයි. ඇසට නොපෙනෙන එහෙත් විද්‍යාත්මක ක්‍රම මගින් යම් ලක්ෂණ විග්‍රහ කිරීමට සමත් ලෝක අවධානය උඩු යටිකුරු කල පැතිකඩක් පිලිබඳවයි මේ ලිපියෙන් විස්තර කරන්නයි උත්සාහ ගන්නේ. එමගින් මෙරට; සවිඤ්ඤානයත් භෞතික ලෝකයත් අතර පවතින් සම්බන්ධය පිලිබඳ කුතුහලයක් කියවන්නා තුල ජණිත කිරීම හරහා අනාගත ගවීෂණ මුල් ඇතිකිරීමටත් මින් බලාපොරොත්තුවනවා.

භෞතික ලෝකයට සවිඤ්ඤානයේ බලපෑම. 

රූපය 1 : මනුෂ්‍ය මොලය හා බැඳුන සවිඤ්ඤානයේ විශ්මිත ක්‍රියාකාරීත්වය

 

 

පසුබිම

යම් වෙලාවක ඔබ පාරක ගමන්කරන්නේ යයි සිතමු. එම මොහොතේ ඔබව පසුකරගෙන යන වාහන හෝ ඉදිරියෙන් යන වාහන හොදින් දිස් වුනත් ඒ දුටු සෑම වාහනයක් පිලිබඳවම විස්තර කවරකුහෝ ඔබෙන් ප්‍රශ්නකළහොත් ඔබේ මතකයේ ඒ සියල්ල රැදෙන්නේ නැති බව ඔබ තේරුම් ගනු නිසැකයි. සමහරවිට ඒ අතරින් සිදුවීම් කීපයක් ගැන පමණක් ඔබට මතක තියෙන්නටද පුළුවන්. එසේ වන්නට හේතුව කුමක්දැයි ඇත්තටම ඔබ දැන සිටියාද?

ඊට හේතුව නම් ඔබේ සවිඤ්ඤානයයි (consciousness). යම්කිසි අවධානයකින් එහෙමත් නැතිනම් උවමනාවකින් යුතුව ඇස, නාසය, කන, දිව, ස්පර්ශය යන පංච ඉන්ද්‍රියන් ඔස්සේ  ලබාගන්නා සංඥා වලින් ඔබේ මනසේ සවිඤ්ඤාන තත්වය ඇතිකරනු ලබනවා. එවිටයි ආවර්ජනා කලැහැකි, විස්තර සහිත මතකයට මේ දේවල් එකතු වන්නේ. යමක් පිලිබඳ අත්දැකීමක් ඇතිවීමද සිදුවන්නේ එම දෙය පිලිබඳ සවිඤ්ඤානයෙන් ලබාගන්නා සංඥා හරහායි. නමුත් සෑම අත්දැකීමක්ම පංච ඉන්ද්‍රියන් හරහාම ඇතිවන්නෙද නැහැ. ඒ ආදරය තරහව වැනි සමහර අත්දැකීම් යථාර්තයක් ලෙස නොපවතින නිසයි. මෙහි තවත් පැත්තකුත් තියෙනවා. අපි අවධානයකින් බස් රථයක් නිරීක්ෂණය කොට ඒ “රතු පාට” බස් රථයක් යැයි අර්ථ කථනය කරන්නේනම් රතු කියන පැහැය අපේ මතකයේ මින් පෙර අත්දැකීමක් ලෙස තිබිය යුතු වනවා. නැතිනම් රතු ලෙස අපගේ මොලය එම පැහැය හඳුනාගන්න එකක්  නෑ.

 

එසේ නම් අත්දැකීමත් සවිඤ්ඤානයත් අතර තිබෙන මනා වූ සහ-සම්බන්ධකම පිළිබඳ ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මිනිස් මොලයේ සෑම සිදුවීමක්ම සවිස්තරව මතකයේ රැදෙන්නේ නෑ. පරිගණක ප්‍රමිතියෙන් කියතොත් මොලය මගින් සමස්ථ ලෙස බිට් බිලියන 400 ක් පමණ ප්‍රමාණයක්  සැම තත්පරයකදීම ක්‍රියාකාරී වන බවයි පැවසෙන්නේ. නමුත් මෙයිනුත් උපරිම 2000 කටත් පමණ අල්ප ප්‍රමානයක් තමයි සවිඤ්ඤානය නිසා සවිස්තරාත්මකව මතකයේ රැඳෙන්නේ. සවිඤ්ඤානව නොඑසේනම් සිහියෙන් අවධානය යොමුකළ දේවල් පමණක් සවිස්තරාත්මකව  මතකයේ රැඳෙන අතර උවමනාවකින් අවධානයක් යොමුකිරීමෙන් තොරව නොඑසේනම් අවිඤ්ඤානයෙන් අත්විදින සංඥා සවිස්තරාත්මක ලෙස මතකයේ නොරැඳේ. එයයි මනසේ ස්වභාවය. එසේ සියලු දේවල් මතකයට පත්වුවහොත් මිනිසාට කළහැකි හෝ නිරතවිය හැකි වැඩ ප්‍රමාණය අවම වන්නට තිබුනා. බහු විධි කාර්යයන් වල නිරත වෙන්නටත් හැකියාවක් නොමැතිවන්නට පුළුවන්. ඒවගේම අවිඤ්ඤානයත් මිනිස් ශරීරය ක්‍රියාකාරීත්වයට වැදගත් දායකත්වයක් සපයනවා. උදාහරණ ලෙස හුස්ම ගැනීම්, හෘද ස්පන්දනය, හා අනෙකුත් ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් අවිංඥානව තමයි සිදුවන්නේ. එය ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වනවා.

 

ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පාදයට වන අනතුරක වේදනාව නොදැනේන්නට එම මොහොතේ ශරීරයෙන් ඇඩ්රිනලින් ශ්‍රාවය කරත් ඒ පිළිබඳව අවධානය යොමු කල විටදී වේදනාවේ තරම දැනෙන්නට පටන් ගන්නවා.

මේලෙස සිතීමීදී අපට අවිඤ්ඤානය වගේම සවිඤ්ඤානයද අවශ්‍ය බවකුයි පෙනී යන්නේ.

අපි දෙයක් හෝ සිදුවීමක් දෙස අවධානයෙන් බලන්න පෙළඹෙන්නට හේතුවන සාධක තිබෙන බවයි පැවැසෙන්නේ. ඒවා අතර නව්‍ය බව, වැදගත් බව, අභිලාශය හා බලාපොරොත්තුව යන සාධක අන්තර්ගත වනවා. Güzeldere (1997).

 

 

මනසට බාහිර සිදුවීමකට බලපෑම් කල හැකිද?

මනස නමැති මෘදුකාරකයෙන් මොලය මෙහෙයවන බවට ඇතැම් විද්‍යාඥයන් ගේ මතය වනවා. කෙසේ වෙතත් ලෝකයේ වන සිදුවීමකට හෝ ක්‍රියාකාරකමකට මනසට බලපෑම් කිරීමට හැකියාවක් ඇතිද යන්න පෙර සිටම කුතුහලයක් පැවතුනා. එක්දහස් නවසිය තිහ දශකයේ J B රයින් නම් විද්‍යාඥයෙක් අපූරු පර්යේෂණයක් සිදුකලා. දාදු කැටයක් පතිතවීම හෝ කාසියක් පතිතවීම වැනි සරල සිදුවීම් මාලාවක් කෙරෙහි මනසේ බලපෑමක් තිබෙනවා දැයි සෙවීමට සිදු කල පර්යේෂණ වලින් ඔප්පුවුණා එසේ විශ්මිත බලපෑමක් ඇති බවට. එමගින් ප්‍රකාශ වෙනවා මනසට ද්‍රව්‍ය කෙරෙහි බලපෑමක් ඇති කල හැකි බව. 1970 දී භෞතික විද්‍යාඥ හෙල්මුට් ශ්මිට් ගේ අහඹු අංක උත්පාදක ජෙනරේටර (Random Number Generator[RNG]) පර්යේශනයෙන්ද ඊටත් සාර්ථක ප්‍රතිපල සහිත සංඛ්‍යාන දත්ත ලාබාගන්නට හැකි වුන බව The Journal of Parapsychology (Vol. 75, Issue 2) කලාපයේ පළවුණා.

මෙහිදී කාසියක් පතිතවීම වෙනුවට දුර්වල විකිරනශීල මුලද්‍රව්‍යක් උපයෝගී කොටගෙන ඉලෙක්ට්‍රෝන මුදාහැරීමකුයි සිදුකලේ. කිහිප දෙනෙකු දුරස්ථව සම්බන්ධ වී කරන මානසික බලපෑම ඔස්සේ ඉලෙක්ට්‍රෝන මුදාහැරීම හෝ මුදානොහැරීම තීරණය කිරීම අධ්‍යයනයට ලක්වුනා. පසුකාලීනව ප්‍රින්ස්ටන් හි (Princeton Engineering Anomalies Research Laboratory) පර්යේෂණ කණ්ඩායම එවැනිම වූ RNG යන්ත්‍රයක් උපයෝගීකරගෙන සිදුකරනලද පර්යේෂණ වලින්ද ඔප්පු වුනේද සාමාන්‍ය අහඹු සිදුවීම් පෙලින් වෙනස් මගක මානසික බලපෑම් වක්‍රයන් ගමන් ගන්නා බවයි [Nelson, R. D. (2017)].

රූපය 2: ප්‍රින්ස්ටන් හි පර්යේෂණ කණ්ඩායම විසින් RNG-උපයෝගීකරගෙන සිදුකරනලද පර්යේෂණ වලට අදාළ සමුච්චිත අපගමන ප්‍රතිඵල.

 

දශක තුනක් තිස්සේ මේ පිළිබඳ ලොව පුරා නොයෙක් පර්යේෂණ සිදු වුනත් ඒවා අතරින් වැදගත්ම සොයාගැනීම වුනේ හදිස්සි මානසික වෙනස්වීම් හෝ හැඟීම් වලට RNG ප්‍රතිපලවලට බලපෑම් කරන්නට හැකි බවයි.

මේ සොයා ගැනීමෙන් පසුව තව දුරටත් පර්යේෂණ සිදුකරනු ලැබුවේ ඉහත සඳහන් කල RNG පද්ධති ගෙනගොස් එමගින්  විශාල වශයෙන් මිනිසුන් එකතුවන ක්‍රීඩා හා ආගමික අවස්ථා නිරීක්ෂණය කිරීමට කටයුතු කිරීමෙනුයි. එහිදී දකිනට ලැබුනේද ඉහත සඳහන් පරිදි සාමාන්‍ය අහඹු වක්‍රයේ ගමන්මාර්ග වෙනස් වීම නිරීක්ෂණය වීමයි. මේ අනුව තවදුරටත් මේ ගැන අධ්‍යයනය කිරීමේ අරමුණෙන් ග්ලෝබල් කොන්ශස්නස් ප්රෝජෙට් (Global Consciousness Project) මැයින් ව්‍යාපෘතියක් ආරම්භ වුනා. ඒ හරහා ලොවපුරා RNG පද්ධති ගෝලීය ආවරණයක් වන පරිද්දෙන් රඳවා ඒ සියල්ල ජාලගතකරනු ලැබූවා. දශක දෙකක් තිස්සේ ගෝලීයව සිදුවුණ සුනාමි වැනි ස්වාභාවික ව්‍යසන, නව වසර සැමරීම්, ජාත්‍යාන්තර දේශපාලනික සිදුවීම් වගේම ප්‍රසිද්ධ ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළුව පන්සියයක් පමණ වූ සිදුවීම් RNG ජාලය හරහා නිරීක්ශනය කෙරින. මෙහිදීද නිරීක්ෂණය වුනේද අදාළ සිදුවීමට අනුකූලව ඉහත පරිදිම සංඛයාමය අනුපිලිවෙලවල් වල පැහැදිලි වෙනස්වීමයි.

රූපය 3: ඇමෙරිකාවේ සැත්තම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ RNG දත්ත වාර්තා අනුව 2011 සියලු දිනයන් ට සාපේක්ෂව වැඩ්ම සංඛයාන සහසම්බන්දිත අගය මෙසේ සඳහන් විය.

මෙසේ සිදුවන හේතුවනම් තවමත් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකිව නැහැ. අපි දන්නවා මේ මුළු ලෝකයමත් විශ්වයත් ද්‍රව්‍ය වලින් සැදුම් ලත් බව. ද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු වලින් බව. එසේනම් පරමාණුවක න්‍යෂ්ටියත් ඒවටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන වලාවත් අතර කොටස හිස් රික්තක අවකාශයක්ද? යන පැනයක් පැනනගිනවා. සාමාන්‍යන් සරලම පරමාණුව වන හයිඩ්රිජන් වල මෙම අවකාශ අගය 2.4 × 10-45 cm3  පමණ වන බව පරමාණුවේ පරිමාව වන 2.5 × 10-45 cm3 න් සියයට 99.9% වන අවකාශ ප්‍රමාණය ගණනය කළහොත් ඔබට ලැබෙනු ඇත.

නමුත් ඊට අදාළ ශක්තිය භෞතික විද්‍යාවේ ක්වොන්ටම් හා සාපේක්ෂතා න්‍යායන් යොදාගෙන (latent energy) ගණනය කරද්දී ඊට අනුකුල වන ශක්තිය ආලෝක වර්ෂ බිලියනයක වපසරියක පිහිටි විශ්ව කොටසේ සියලු ග්‍රහයන් හා සුර්යයන් පරයන ශක්තියක් තියනවා කිවොත් ඔබ මවිත වේවී. එසේනම් සවිංඥානය මගින් මෙවැනි පරමාණුවක කොටසකට හෝ බලපෑමක් ඇති කල හැකිනම් බිග් බෑන් පිපිරුමක් ඇති කරන්නටත් මනසට හැකියාවක් තිබෙන බවට විශ්වාස කරන්නට පුළුවන් නේද?  ඒ වගේම ද්‍රව්‍ය හා විශ්වයේ යම් යම් ක්‍රියාකාරකම් ඇති කිරීමටද පුහුණු කරන ලද සවිඤ්ඤානය යොදා ගැනීමටත් හැකියාවක් පවතින්නට පුළුවන්.

සවිඤ්ඤානයත් භෞතික ලෝකයත් අතර පවතින් සම්බන්ධය මෙමගින් අපට කියාපානවා.

මේ අනුව මනස, යථාර්ථයේ මුලික ස්ථානයක් වන්න පුලුවන්ද යන පැනය  භෞතික විද්‍යාඥයන් අතර මේවනවිට කුතුහලයක් දනවන කරුණක් බවට පත්වී හමාරයි.

සාරාංශය

අවධානයකින් එහෙමත් නැතිනම් උවමනාවකින් යුතුව ඇස, නාසය, කන, දිව, ස්පර්ශය යන පංච ඉන්ද්‍රියන් ඔස්සේ  ලබාගන්නා සංඥා වලින් ඔබේ මනසේ සවිඤ්ඤාන තත්වය ඇතිකරනු ලබනවා අත්දැකීමත් සවිඤ්ඤානයත් අතර තිබෙන මනා වූ සහ-සම්බන්ධකම පිළිබඳ මෙමගින් පැහැදිලි වනවා. ඒවගේම අවිඤ්ඤානයත් මිනිස් ශරීරය ක්‍රියාකාරීත්වයට වැදගත් දායකත්වයක් සපයනවා.

ලෝකයේ වන සිදුවීමකට හෝ ක්‍රියාකාරකමකට මනසට බලපෑම් කිරීමට හැකියාවක් ඇතිද යන්න පෙර සිටම කුතුහලයක් පැවතුනත් එක්දහස් නවසිය තිහ දශකයේ J B රයින් නම් විද්‍යාඥයා ගේ සරල දාදු කැට පර්යේෂණයෙන් සිදුවීම් මාලාවක් කෙරෙහි මනසේ බලපෑමක් තිබෙන බවට ඔප්පුවුණා එසේ නම් මනසට ද්‍රව්‍ය කෙරෙහි බලපෑමක් ඇති කල හැකි බවට තව දුරටත් කල පර්යේෂණ වලින් පෙනීයන්නේ මිනිස් මනසේ ඇති විශ්මිත හැකියාවයි.

 

Reference

[1]     https://plato.stanford.edu/entries/consciousness/ (accessed  5 July 2021)

[2]     https://tielhard.global mind.org/extended.analysis.html (accessed 5 July 2021)

[3] https://www.sciencedirect.com/science/article/pii/S0893608016301800?via%3Dihub(accessed (5 July 2021)

 

Author

Back to top button