කතුවැකියතාරකා විද්‍යාව

විශ්ව අසිරියේ ජාතික රඟමඬල – ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

නාලක අබේසේකර

ග්‍රහලෝකාගාරයක් කියලා කියන්නේ කෘතිම අහසක් නැරඹිය හැකි ස්ථානයක්. සැබෑ අහසේ අප දකින ඉර, හඳ, තරු, ග්‍රහලෝක, ධූමකේතු, මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තු වගේම හිරු උදාව, හිරු බැසීම, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, උල්කාපාත වැසි වැනි තාරකා විද්‍යාත්මක සංසිද්ධි එලෙසින්ම නිර්මාණය කර පෙන්වීමේ හැකියාව ග්‍රහලෝකාගාරයකට තියෙනවා. අද රෑ අහස විතරක් නෙවෙයි අදින් වසර දහස් ගණනක් අතීතයේ හෝ අනාගතයේ ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක අහස එහිදී අපට බලාගන්න පුළුවන්.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය උපත ලබන්නේ 1965 පෙබරවාරි 01 දින විවෘත වූ ලංකා කර්මාන්ත ප්‍රදර්ශනයේ අංගයක් විදිහට.
මෙම ප්‍රදර්ශනය පැවැත්වුණේ එවකට තුරඟ තරග පිටිය හෙවත් Race Course යනුවෙන් හඳුන්වනු ලැබූ භූමි භාගයේ දී. අද වන විට කොළඹ විශ්වවිද්‍යාලය සහ තවත් ගොඩනැගිලි රාශියක් මේ පරිශ්‍රයේ ඉදි වී තිබුනත් මෙම භූමියේ මුල්ම පදිංචිකරුවා වූයේ ‍ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයයි.


මේ කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ලෝකයේ විවිධ රටවලින් නොයෙකුත් නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. ග්‍රහලෝකාගාර දර්ශන කුටිය සහ එහි ඇති උපකරණ නැගෙනහිර ජර්මනියෙන් ලැබුණු අතර ඒවා අඩංගු අපූරු හැඩැති ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් නිර්මාණය කරන ලද්දක්. එහි ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වූ දේශබන්දු ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ මහතා විසින් මෙම නිර්මාණය කාර්යයේ දී මූලිකත්වයත්වය ගෙන කටයුතු කරනු ලැබුවා. ආචාර්ය කුලසිංහ මහතා පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියෙක්. ග්‍රහලෝකාගාරයට අමතරව කළුතර චෛත්‍යය, කොළඹ වරායේ චෛත්‍යය, මහවැලි මහා සෑය වැනි ඉදිකිරීම් රාශියක් මෙතුමාගේ සංකල්ප අනුව නිර්මාණය වී තිබෙනවා. ඒ. එන්. එස්. කුලසිංහ මහතා විසින් ජාතිය වෙනුවෙන් කළ සේවය සිහිකිරීම සඳහා එතුමාගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබුණ 2019 වර්ෂයේ දී ඔහුගේ නමින් තාක්ෂණ උද්‍යානයක් ග්‍රහලෝකාගාර භූමිය තුළ ඉදිකරනු ලැබුවා.


ලොව ඇති විශාලතම ග්‍රහලෝකාගාර අතරින් එකක් වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සතු දර්ශන කුටිය මීටර් 23 ක විෂ්කම්භයකින් යුක්තයි. එහි 570 ක පිරිසකට ආසන පහසුකම් සපයා තිබෙනවා.

දර්ශන කුටිය මැද සවි කර තිබෙන විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය වසර 25,000 ක් අතීතයට හෝ අනාගතයට අපව රැගෙන යාමට සමත්. එම කාල පරාසය තුළ ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක අහස, ඒ ආකාරයටම ප්‍රතිනිර්මාණය කිරීමට මෙම විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රයට හැකියාව තිබෙනවා.
විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රයට අමතරව තවත් ප්‍රක්ෂේපණ යන්ත්‍ර කිහිපයක්ම දර්ශන කුටිය තුළ ක්‍රියාත්මක වෙනවා. ග්‍රහණ ප්‍රක්ෂේපණ යන්ත්‍රය, උල්කාපාත ප්‍රක්ෂේපණ යන්ත්‍රය සහ තාරකා රූප ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඉන් කිහිපයක්. 2014 වර්ෂයේ දී Digital Power Dome ප්‍රක්ෂේපණ යන්ත්‍ර පද්ධතිය ස්ථාපනය කිරිමත් සමගම අර්ධ ගෝලාකාර දර්ශන තිරය මත පූර්ණ ගෝල චිත්‍රපට පෙන්වීමේ හැකියාව අපේ ග්‍රහලෝකාගාරයට ලැබුණා.

ඉරිදා, සඳුදා සහ රජයේ නිවාඩු දින හැරුණු කොට අන් සෑම දිනකම පෙ.ව. 10.00 ට සහ ප.ව. 2.00 ට ග්‍රහලෝකාගාර දර්ශන පැවැත්වෙන අතර නරඹන්නන් සංඛ්‍යාව වැඩි වූ විට අමතර දර්ශන ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙවැනි ග්‍රහලෝකාගාර දර්ශනයක් තුළදී ඔබට පූර්ණ ගෝල චිත්‍රපටයක්, සෞරග්‍රහ මණ්ඩලයේ සවාරියක් සහ එදින රාත්‍රී අහස පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැක බලාගැනීමට පුළුවන්.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපනය, පර්යේෂණ හා නව නිපැයුම් අංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ග්‍රහලෝකාගාරය සතු ප්‍රධානතම වගකීම වන්නේ ශ්‍රී ලංකාව තුළ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ කාර්යභාරයට උරදීමයි. ඒ අනුව ග්‍රහලෝකාගාර දර්ශන වලට අමතරව තවත් සේවාවන් රැසක් මහජනතාව සහ පාසැල් සිසුන් වෙත ග්‍රහලෝකාගාරය විසින් ලබා දෙනවා.

තුන්වන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා පාසැල් සිසුන් සඳහා තාරකා විද්‍යා පන්ති පැවැත්වීම, රාත්‍රී අහස නිරීක්ෂණය කඳවුරු පැවැත්වීම, තාරකා විද්‍යා ප්‍රදර්ශන කුටි සහ දේශන පැවැත්වීම මේ අතරින් කිහිපයක්.

මීට අමතරව විශේෂ තාරකා විද්‍යාත්මක සංසිද්ධි සිදුවන අවස්ථාවලදී මහජනතාව දැනුවත් කිරීම් සඳහා ද කඳවුරු පවත්වනු ලබනවා.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පිලිබඳ සහ ඉන් සලසන සේවාවන් පිළිබඳ සියලු විස්තර www.planetarium.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ ඔබට බලා ගැනීමට පුළුවන්.

Author

Back to top button