Must ReadScience InsiderUncategorizedජනප්‍රියතම ලිපිපර්යේෂණස්වාභාවික විද්‍යාව

සර්ප ප්‍රතිවිෂ 

සෙයියද් ශහමි - ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (NASTEC)

සර්පයෙකුල ගෝනුස්සෙකු මකුළුවෙකු කෘමියෙකු හෝ සාගරික ජීවියෙකු වැනි සතෙකු සපා කෑ විට හෝ දෂ්ඨකළ විට විෂ හෝ ධුලක වලට නිරාවරණය වීමට සඳහා සුදුසු ප්‍රතිකාර ලෙස ප්‍රතිවිෂ භාවිතා කරණ අතර එය ප්‍රතිදේහ අඩංගු රුධිර මස්තු ලෙස හැඳින්වේ.

කිසියම් යුතු විෂ විෂ සහිත හපා කෑමක් හෝ දෂඨනය සිදුකළ විශේෂය අනුව විශේෂ ප්‍රතිවිෂ වර්ගයක් අවශ්‍යවනු ඇත. එය එන්නත් මගින් ලබාදේ. මේ අග්නිකාරක (ශරිර උෂ්ණත්වය ඉහළ යන, උණ ඇතිකරන) ද්‍රව්‍ය මගින් දූෂණයවීම හේතුවෙන් (නිෂ්පාදනය අපවිත්‍රවීම – නිෂ්පාදන ක්‍රියාවලියේදී මුහුණදෙන අභියෝගාත්මක කාර්යයක්) ප්‍රතිවිෂ වල අතුරු ආබාධ වාර්තාවිය හැකි අතර එහිදී සුළු උණ රෝගී තත්වයක සිට කුෂ්ඨ කැසීම්, හතිය, නාඩි වැටීම වේගවත් වීම, උණ, ශරීර වේදනාව අඩු රුධිර පීඩනය හුස්ම ගැනීමේ අපහසුව ආදී දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවන් ද වාර්තාවිය හැකිය.

අදාල සතාගෙන් විෂ එකතුකර එයින් කුඩා ප්‍රමාණයක් ගෘහස්ත සතෙකුට එන්නත් කිරීම මගින් සාම්ප්‍රදායිකව ප්‍රතිවිෂ නිපදවනු ලැබේ. එසේ නිපදවන ප්‍රතිදේහ එම සතාගේ රුධිරය මගින් එකතුකර පිරිසුදු කරනු ලැබේ. සර්ප දෂ්ඨ කිරීම් මකුළුන් දෂ්ඨ කිරීම් මත්ස්‍යයින් සහ ගෝණුස්සන් දෂ්ඨ කිරීම් සඳහා වෙනස් ආකාරයේ ප්‍රතිවිෂ ඇත. ප්‍රතිදේහ පදනම් ප්‍රතිවිෂ නිෂ්පාදයේ පිරිවැය වැඩිවීම සහ ශීතකරණයක තබා නොමැතිවිට ගබඩාකර තැබිය හැකි කාලය අඩුවීම හේතුවෙන් ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ සිදුකරමින් පවතී. ප්‍රතිදේහ මෙන් නොව එකී විකල්ප නිෂ්පාදන තාක්ෂණයන්හිදී අදාල ඖෂධ නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් කෘතිම සහ විශාල ප්‍රමාණවලින් සරලව නිපදවියහැකි ක්ෂුද්‍රජීවීන් සහ විවිධ උපායමාර්ග භාවිතා කරයි.

සර්ප ප්‍රතිවිෂ ඉතිහාසය

1894 වසරේදී ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු බැක්ටීරියා විද්‍යාඥයෙකු සහ ප්‍රතිශක්ති විද්‍යාඥයෙකු වන ඇල්බට් කැල්මෙට් විසින් හාවුන් තුළ සාර්ථකව නයි ප්‍රතිවිෂ මස්තු නිපදවනු ලැබීය. ඔහුගේ මෙම කාර්යය මගින් පර්යේෂණ කෙරෙහි අන්තර්ජාතික බලපෑමක් ඇතිවු අතර සර්ප දෂ්ඨන සඳහා ප්‍රතිකාර සිදුකරන ආකාරය වෙනස් අතකට යොමුවිය.

 

විෂ ඉතා කුඩා ප්‍රමාණයක් සතා තුළට එන්නත්කර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස නිපදවා රුධිරයට මුදාහරින ප්‍රතිදේහ පසුව රුධිරය ලබාගෙන නිස්සාරණය කරගනු ලැබේ. ප්‍රතිවිෂ බොහොමයක්ම අශ්වයින් තුළ නිෂ්පාදනය කරනු ලබන අතර තවත් සමහරක් බැටළුවන් තුළ නිෂ්පාදනය කරනු ලබයි. සාන්ද්‍ර කිරීමෙන් සහ පිරිසිදු කිරීමෙන් පසු මෙම රුධිර ප්ලස්මාව ඖෂධ ශ්‍රේණියේ ප්‍රතිවිෂ නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. ප්‍රතිවිෂ නිෂ්පාදනයේ මූලික ක්‍රියාවලිය ශතකයකට වැඩි කාලයක් එතරම් වෙනස්කම් වලට ලක්නොවී පවතින අතර අහිතකර බලපෑම් අවම උසස් ප්‍රමිතියෙන් යුත් අයිතම නිෂ්පාදනය සඳහා විවිධ තාක්ෂණික නවෝත්පාදන සහ පවිත්‍ර කිරීමේ තාක්ෂණයන් ඊට එක්ව ඇත.

පියවරින් පියවර ප්‍රතිවිෂ නිපදවන්නේ කෙසේද

සාමාන්‍ය ප්‍රතිවිෂ මධ්‍යස්ථානයක විවිධ සර්ප විශේෂ ඇතිකර රැකබලා ගනී. ඔවුන් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව තහවුරු කරගැනීම සඳහා අඛණ්ඩව සැළකිළිමත්වේ. නියමිත වේලාවට වෘත්තිකයින් විසින් අතිභයංකර සර්ප විශේෂ ඇතුළත්විය හැකි සර්පයින් විෂ දෙවීමේ කාමරය වෙත රැගෙන එනු ලබයි. මහපටගිල්ල සහ දබරගිල්ල මගින් සර්පයා අල්ලාගෙන සිටින ස්ථානයේ හනුවේ කෝණයට කෙළින්ම පිටුපසින් හිසෙහි ඉතා පිටුපසින් විෂ ග්‍රන්ථි පිහිටා ඇත. සර්පයින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් විශේඥතාවයක් ඇති බොහෝ දෙනෙක්ම සිය රාජකාරියේදී අනේක වාරයක් සර්පයින් විසින් දෂ්ඨකර ඇති නමුත් සර්පයා රවුමට කැරකීමක් සහ දෂ්ඨ කිරීමක් නොමැතිව උගේ ග්‍රන්ථි සම්භාහනය කිරීමට සර්ප විෂ දොවන්නන්ට එමගින් ඉඩ සැළසේ.

හොඳින් පුහුණුවූ විශේෂඥයින්ට වුවත් සර්පයෙකුගෙන් ලබාගත හැක්කේ ඉතා සුළු විෂ ප්‍රමාණයක් බැවින් ප්‍රමාණවත් විෂ ප්‍රමාණයක් ලබාගැනීම සඳහා වැඩි වාරගණනක් විෂ දෙවීම සිදුකළ යුතුවේ. එය -20 °C ට වඩා අඩු උෂ්ණත්වයකට ශීතකළ යුතු අතර ගබඩාකිරීමේ සහ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කිරීමේ පහසුව සඳහා අයිස් බවට පත්කර වියළීම (freeze-dried) සිදුකරනු ලැබේ. එහිදී ජලය ඉවත්කිරීම මගින් විෂ සාන්ද්‍රවීමද සිදුවේ. ස්වභාවයෙන් විෂ අඩංගු සෑම කුප්පියකම සර්ප වර්ගය, නිෂ්පාදිත ස්ථානය, සහ අනෙකුත් තොරතුරු නිවරදිව සළකුණු කළ යුතුය.

අශ්වයින් ලොව වටා විවිධ පරිසරයන්හි ජීවත්වන, විශාල ශරීර ස්කන්ධයක් සහිත, අනෙකුත් සතුන් සමග එකට ජීවත් වියහැකි, සහ මිනිසුන්ට හොඳින් හුරුපුරුදු නිසා එන්නත්කරණ ක්‍රියාවලියේදී දැඩි ලෙස බියට පත්නොවන  බැවින්ද ඔවුන් සාම්ප්‍රදායික වශයෙන් ප්‍රතිදේහ නිපදවීම සඳහා යොදාගනී.

අශ්වයකුට විෂ එන්නත් කිරීම

එන්නත් කිරීමට පෙර රසායනඥයින් විසින් නිවරදිව විෂ ප්‍රමාණය දක්වන අතර එය පිරිසිදු ජලය හෝ වෙනත් ස්වාරක්ෂක ද්‍රාවණයක් සමග මිශ්‍රකරයි. අශ්වයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ සඳහා ප්‍රතිචාර දක්වා ප්‍රතිදේහ නිපදවීම සඳහා විෂ සමග සම්බන්ධවීමට සහ ඊට ආධාර වන වන ද්‍රව්‍යයක් ද්‍රාවණයට එක්කිරීම (adjuvant) ඉතා වැදගත්වේ. අශ්වයාගේ (හෝ අනෙකුත් තෝරාගත් සත්වයාගේ) සෞබ්‍ය තත්වය සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය පශු වෛද්‍යවරයෙකු විසින් නිරන්තර අධීක්ෂණය කෙරේ. අශ්වයාගේ රුධිරයේ ප්‍රතිදේහ සාමාන්‍යයෙන් සති 8 සිට 10 තුළ එහි උපරිම අගයට ලඟාවේ. එවිට අශ්වයා රුධිරය ලබාගැනීම සඳහා සූදානම් අතර බෙල්ලෙහි පිහිටි කණ්ධරික ශිරාව (jugular vein) මගින් රුධිරය ලීටර් 3-6 දක්වා ප්‍රමාණයක් ලබාගනී.

ප්‍රතිවිෂ නිෂ්පාදන ක්‍රියාවලියේ මීලඟ පියවර පවිත්‍ර කිරීමයි. ඊලඟට රුධිර සෛල රහිත රුධිරයේ ද්‍රවමය කොටස වන ප්ලාස්මාවෙන් ප්‍රතිවිෂ වෙන්කර ගැනීම සඳහා රුධිරය කේන්ද්‍රාපසරණය කරනු ලැබේ. මෙම අවස්ථාවේදී නිෂ්පාදකයින් සාමාන්‍යයෙන් ඔවුන්ටම අයත් තාක්ෂණික ක්‍රම භාවිතා කරයි, ඉන් බොහොමයක් වාණිජමය රහස්සේ සැළකේ. කෙසේවුවද, ප්ලස්මා ද්‍රාවණයේ pH අගය වෙනස් කිරීම හෝ ද්‍රාවණයට ලවණ එක්කර අවක්ෂේපණය කිරීම මගින් නුසුදුසු ප්‍රෝටීන ඉවත්කරයි.

එන්සයිම භාවිතාකර ප්‍රතිදේහ බිඳ දමා ක්‍රියාකාරී ද්‍රව්‍ය වෙන්කිරීම ප්‍රතිවිෂ නිෂ්පාදනයේ අවසන් පියවර වලින් එකකි. අවසාන පියවර සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනය (FDA) (ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සඳහා සුදුසු ආයතනයවේ) වැනි බාහිර නියාමන ආයතනයක් මගින් පරීක්ෂා කෙරේ. අනුමතවූ පසුව සාම්පල කුඩු හෝ ද්‍රව ආකාරයෙන් සාන්ද්‍රකර ශිතකර ඒවා අවශ්‍යකරණ රෝහල් වෙත යවනු ලැබේ. මෙය අතිශයින්ම සංකීර්ණ, වියදම් අධික සහ ඉතා සුළු ප්‍රතිඵලයක් ලැබෙන ක්‍රියාවලියක් බව ඔබට දැකිගත හැකිය.

 

කුප්පිවල අඩංගු වියළි කුඩු බවට පත්කළ (freeze-dried) ප්‍රතිවිෂ (Figure credit: Physicochemical characterization of commercial freeze-dried snake antivenoms by María Herrera et al (2017) – Science Direct Toxicon

සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදන ක්‍රියාවලිය කෙටියෙන්

සාම්ප්‍රදායික ප්‍රතිවිෂ නිෂ්පාදනය කෙටියෙන්  (Figure Credit: Welcome Trust Snakebite, https://wellcome.org/what-we-do/our-work/snakebite)

ප්‍රතිවිෂ නිෂ්පාදනය කරන්නේ කෙසේද

  1. සර්පවිෂ එකතුකිරීම
  2. ප්‍රතිදේහ නිපදවීම සඳහා අශ්වයෙකුට එන්නත් කිරීම
  3. ප්‍රතිදේහ නිස්සාරණය සහ පිරිසිදු කිරීම
  4. භාවිතයට සුදුසු ප්‍රතිවිෂ එන්නත්

ඔබ දන්නවාද?

 

විලියම් හාස්ට් (William Haast) 1950 දී ඔහුගේ මියාමි සර්පාගාරයේදී  (Figure Credit: The New York Times)

 

 

 

 

  • වයස අවු. 100දී මියගිය ප්‍රසිද්ධ සර්පයින් සමග කටයුතු කරන්නෙකු වන බිල් හාස්ට් දිනකට සර්පයින් 100 දෙනෙකුගෙන් පමණ විෂ දොවන ලද බවට ප්‍රසිද්ධය. එම ප්‍රමාණය අනුව, ඔහුට නිරන්තර සර්ප දෂ්ඨන සිදුවන්නට ඇතැයි සිතාගත හැකිය. එය අවබෝධ කරගැනීමෙන් පසුව ඔහු තමාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීම සඳහා 1948දී තනුක කරන ලද නයිවිෂ තමාටම එන්නත් කරගැනීම ආරම්භ කරන ලදී. ස්වභාවික හේතුවක් නිසා මියයෑමට පෙර නිල් කරවලා, රාජ නයා, පකිස්තාන තිත් පොළඟා ඇතුලුව ලොව භයානකම සර්පයින් ගණනාවක්ම විසින් සිදුකරණ ලද දෂ්ඨන 172කින් දිවි ගලවාගැනීමට ඔහුට හැකිවිය. සෘජුවම රුධිර පාරවිලයනය සඳහා රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ලොවපුරා සංචාරය කිරීමේදී පවා සර්පයින් දෂ්ඨකළ 21 දෙනෙකුගේ ජීවිත රැකදීමට ඔහුට හැකිවිය.
  • ලොවපුරා විවිධ පරිසරයන්හි ජීවත්විය හැකි, විශාල ශරීර ස්කන්ධයක් සහිත, අනෙකුත් සතුන් සමග එකට සිටීමට හැකි අශ්වයින් ප්‍රතිදේහ නිපදවීම සඳහා ‍නිතර භාවිතා කරයි. බැටළුවන් සහ එළුවන්ද ඒ හා සමානව ඵලදායිවේ. බුරුවන්, හාවන්, බළලුන්, කුකුළන්, ඔටුවන්, රොඩෙන්ටාවන් මෙන්ම මෝරුන්ද පර්යේෂකයින් විසින් යොදාගෙන ඇත.
  • නිෂ්පාදනයේදී භාවිතාකරණ ප්‍රතිදේහ වර්ගය පදනම් කරගෙන මූලිකවම ඒකසංයුජ සහ බහුසංයුජ වශයෙන් ප්‍රතිවිෂ කාණ්ඩ දෙකකි. අති ප්‍රතිශක්තිකරණ විෂ එක් විශේෂයකින් ලබාගන්නේනම් එය ඒකසංයුජ ප්‍රතිවිෂ ලෙස හැඳින්වේ. සර්පයින් විශේෂ දෙකක් හෝ වැඩි සංඛ්‍යාවට එරෙහිව නිපදවූ උදාසීනකරණ ප්‍රතිදේහ අඩංගු වන්නේනම් එම ප්‍රතිවිෂ බහුසංයුජ ලෙස හඳුන්වනු ලැබේ.
  • ශ්‍රී ලංකාවේ සර්පවිෂ ප්‍රතිකාර සඳහා වන ප්‍රතිවිෂ ඉන්දියාවේ සාදනු ලැබේ. මෙරට ලබාගත හැකි ඉන්දියානු බහුසංයුජ ප්‍රතිවිෂවල‍ නයා (Naja naja), තිත් පොළඟා (Daboia russelii), වැලි පොළඟා (Echis carinatus), සහ තෙල් කරවලා (Bungarus caeruleus) විසින් සිදුකරන දෂ්ඨනයන්ට එරෙහි ප්‍රතිදේහ මිශ්‍රණයක් අඩංගුවේ.
  • ඉහත සඳහන්කළ සර්ප විශේෂ හතරට එරෙහි විෂට අමතරව දැනට ශ්‍රී ලංකාවේ ලබාගත හැකි ප්‍රතිවිෂ වල අඩංගු නොවන කුණ කටුවා (Hump nosed pit viper – Hypnale hypnale) දෂ්ඨ කිරීම් සඳහා ප්‍රතිදේහ අඩංගු ප්‍රතිවිෂ මෙරටදීම නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදුකරමින් පවතී.
  • මෙරටදී සර්පවිෂ ශරීරගතවූ එක් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සමාන්‍යයෙන් ඉන්දියානු ප්‍රතිවිෂ කුප්පි 10-20 අවශ්‍යවේ. (වැඩිහිටියන් සඳහා සාමාන්‍යයෙන් සේලයින් ද්‍රාවණය මිලි ලීටර් 400ක තනුකකර පැයක් තුළ; සම්පූර්ණ පරිමාව මිලිලීටර් 500; සහ ළමුන් සඳහා කුප්පි 10 සේලයින් ද්‍රාවණය මිලි ලීටර් 100ක තනුකකර පැය දෙකක් තුළ සම්පූර්ණ පරිමාව මිලි ලීටර් 200ක් ලබාදේ. සම්පූර්ණ පරිමාව මිලි ලිටර් 200ක් ධමනි හරහා සෙමින් ලබාදේ.

පදමාලාව

  • ප්‍රතිදේහ – ඔබගේ ශරීරයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළුවූ විට ඔබව ආරක්ෂාකරණ ප්‍රෝටීන
  • අයිස් බවට පත්කර වියළීම (Freeze drying) – සම්පූර්ණයෙන්ම අයිස් බවට පත්වූ සාම්පලය රික්තකයක තබා එට ද්‍රව අවස්ථාවට බවට පත්නොකර කෙලින්ම ඝන අවස්ථාවේ සිට වාෂ්පයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය.
  • කණ්ධරික ශිරාව (Jugular vein) – අශ්වයාගේ හිසේ සිට හෘදය දක්වා රුධිරය ගෙනයන ශිරාව. එය අශ්වයාගේ බෙල්ලෙහි පහළ පැත්තේ කණ්ධරික ඇලිය අතර පිහිටා ඇත.
  • අති ප්‍රතිශක්තිකරණය – විශේෂිත ප්‍රතිදේහයකට එරෙහිව සාමාන්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රතිදේහ සංඛ්‍යාවක් තිබීම.
  • අග්නිකාරක – රස්නය හෝ උණ ඇතිකරවන ද්‍රව්‍ය – අන්තර්ගත විෂ
  • සර්පාගාර – සර්පයින් තබා ඇති ආවරණය වූ කුටිය

 

 

Author

Related Articles

Back to top button