Must ReadScience Insiderනැනෝ තාක්ෂණය

වර්ණ විපර්යාස ඇසුරෙන් තුවාලයේ තත්ත්වය හෙළි කරන නැනෝ තුවාල ආවරණ

ආචාර්ය ධනුෂිකා. සී මනතුංග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව, තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

තුවාල සඳහා නිසි ප්‍රතිකාර ලබාදෙමින් ඒවා කළමනාකරණය කර ගැනීම යනු , සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුතු මූල්‍ය බරක් පටවමින්  සැලකිය යුතු ගෝලීය අභියෝගයක් එල්ල කෙරෙන කාර්යයක් වේ. මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ දියවැඩියාව වැනි නිදන්ගත රෝග, තරබාරුකම සහ වයස්ගත ජනගහනයෙහි  වේගවත් වර්ධනයයි. ව්‍යාධිජනක ආසාදන හඳුනාගැනීමේ හැකියාව සහ තුවාල වූ ස්ථානයට  වහාම ඖෂධ යෙදීම, ඉක්මන් රෝගී සත්කාර සඳහා අතිශයින්ම වැදගත් වේ. මෙහිදී, මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ උත්තේජක වලට ප්‍රතිචාර වශයෙන් වර්ණය වෙනස් කරන, විශේෂයෙන් pH අගයට අනුව වර්ණය  වෙනස් කරන තුවාල ආවරණ වැඩිදියුණු  කිරීම සම්බන්ධයෙන් මෑතකාලයේදී සිදු කරන ලද සොයාගැනීම් පිලිබඳවය. තිරසාර සංකල්ප හා අනුකූලත්වය දක්වමින්  ස්වාභාවික, ජෛව අනුකූල ඩයි අණු ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, මේ සඳහා කෘතිම සහ ස්වාභාවික ඩයි වර්ග දෙකම භාවිතා කිරීම පිළිබඳ තොරතුරු මේ යටතේ තවදුරටත් ගවේෂණය කෙරේ. ඉන් අනතුරුව බහු-ක්‍රියාකාරී වර්ණ වෙනස් කරන තුවාල ආවරණ  ද්‍රව්‍ය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අත් කර ගනු ලැබ ඇති ප්‍රගතීන්, විශේෂයෙන් දුරස්ථව සිට තුවාලයේ තත්ත්වය තක්සේරු කිරීමට   සහ ප්‍රතිකාර සඳහා මාර්ගෝපදේශ ලබා දීමට හැකිවන පරිදි සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වෙත  තුවාල තත්ත්වයන් පිළිබද තොරතුරු වාර්තා කිරීම සහ බෙදාගැනීම සඳහා මාධ්‍යයක් ලෙස යොදා ගැනෙන ස්මාර්ට් ජංගම දුරකථන හරහා ඩිජිටල් රූප ලබා ගැනීමේ හැකියාව පිලිබඳ මෙහිදී සාකච්ජා කෙරේ.  මෙහි ඉදිරිපත් කර ඇති තොරතුරු ඇසුරෙන්,  රෝගියාට අප්‍රසන්න අත්දැකීමක් ලබාදෙමින් තුවාලය සුව වීමේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා තුවාල ආවරණය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ අවශ්‍යතාවය ඉවත් කරමින්,ඒ වෙනුවට  වර්ණ වෙනස් කිරීමේ තුවාල ආවරණ භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලැබෙනු ඇත. කම්පනය, ශල්‍යකර්ම හෝ දියවැඩියාව හේතුවෙන් ඇතිවන නිදන්ගත හා උග්‍ර තුවාල කළමනාකරණය කර ගැනීමේදී යෝජිත තාක්‍ෂණය විශාල විභව්‍යතාවක්  දරයි.

අන්තර්ගතය

ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම, විද්‍යුත් විච්ඡේදක සමතුලිතතාවය සහ උෂ්ණත්ව පාලනය නියාමනය කිරීමට සම්බන්ධ රෝග කාරක ආක්‍රමණයට එරෙහිව භෞතික ආරක්ෂණ යාන්ත්‍රණයේ පළමු පෙළ ලෙස ක්‍රියා කරයි. කෙසේ වෙතත්, සමේ තුනී සහ සියුම් ස්වභාවය නිසා, උග්‍ර කම්පන, දරුණු පිළිස්සුම්, වණ වැනි බහු රෝග තත්ත්වයන් හේතුවෙන් සහ දරුණු තුවාල වලට තුඩු දිය හැකි දියවැඩියා රෝගය  හේතුවෙන් හානි වීමේ වැඩි ඉඩක් පවතී.

සමට සාමාන්‍යයෙන් එහි ස්වභාවික ස්වයං-ප්‍රතිජනන හැකියාව හේතුවෙන් තුවාල සුව කිරීමේ හැකියාව හිමි වී ඇත . තුවාල සුව කිරීම යනු හෝමියස්ටැසිස් (රුධිර කැටි ගැසීම), දැවිල්ල හා ඉදිමීම , පටක වර්ධනය සහ පටක පුනර්ජනනය හෝ මේරීම යන ප්‍රධාන අදියර හතරකින් සමන්විත සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. තුවාල වීමෙන් මිනිත්තු කිහිපයකට පසු සිදු වන රුධිර කැටි ගැසීමේදී, පට්ටිකා එකින් එක සකස් වී කොලජන් සමඟ සම්බන්ධ වී අස්ඵටික ව්‍යුහයක් ජනනය කරයි. මෙය ත්‍රොම්බින් මුදා හැරීම සහ රූප සටහන 1 හි දැක්වෙන පරිදි දැලක් වැනි ව්‍යුහයක් ජනනය කරන ෆයිබ්‍රින් වල සහභාගීත්වයෙන් කැටි ගැසීමේ ක්‍රියාවලිය සක්‍රීය කරයි. මෙය ලේ ගැලීම වළක්වන අතර දැවිල්ල හා ඉදිමීම  ඇති කරවන ප්‍රතික්‍රියා සක්‍රිය කිරීමට ඉඩ සලසයි. දැවිල්ල හා ඉදිමීම  අතරතුර, මැක්‍රෝෆේජ් වැනි ප්‍රධාන සුදු රුධිර සෛල විසින්  මිය ගිය සෛල, ආසාදන ඇති කරන බැක්ටීරියා සහ සුන්බුන් භක්ෂණය කෙරේ. මීට අමතරව, ෆයිබ්‍රොබ්ලාස්ට් සහ ඇන්ජියෝජෙනසිස් ආධාරයෙන් පටක ප්‍රතිනිර්මාණය කිරීම ප්‍රවර්ධනය කරන සයිටොකයින් මුදා හැරීමට ද ඒවා සම්බන්ධ වේ. ඉන් අනතුරුව කොලජන් හරහා බහිස් සෛලීය  න්‍යාසය (ECM) සෑදීම, අපිච්ඡදකරණය යනාදිය  තුවාලය පරිණත කිරීමට හේතු වේ. මෙතැන් සිට අතිරික්ත කොලජන් ඉවත් කිරීම සහ තුවාලය හැකිලීම හරහා කැළලට  අවශ්‍ය ශක්තිය ගොඩනැගීමට ඉඩ සලසයි.

තුවාලය සුව වන ආකාරය අනුව, උග්‍ර හා නිදන්ගත ලෙස තුවාල ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය . මෙම වර්ග දෙක අතරින්  , උග්‍ර තුවාල සාමාන්‍යයෙන් සති 8-12ක් ඇතුළත සම්පූර්ණයෙන් සුව වී ඉතා සුළු කැළැල් සහිතව අවසන් වේ. මෙම තුවාල ප්‍රධාන වශයෙන් භෞතික  තුවාල වීම්   හේතුවෙන් සිදු වේ. අනෙක් අතට, උග්‍ර තුවාල ඇති වන්නේ දරුණු රසායනික, විකිරණ සහ තාප පිළිස්සීම් හේතුවෙන් වන අතර  දිගුකාලීන ආසාදන තත්ත්වයන් හේතුවෙන්  සති 12 කට වඩා සුව වීමේ  ක්‍රියාවලිය දිගු කරයි. මෙම සුව වීමේ ප්‍රමාදය  දියවැඩියාව, පිළිකා සහ දුර්වල වූ ඇන්ජියෝජෙනිසිස් වැනි ද්විතියික වෛද්‍ය සහසම්බන්ධතාවයන්හි ප්‍රතිඵලයක් විය හැකිය. මෙය බරපතල වෛද්‍ය අභියෝගයක් බවට පත් වී ඇති අතර දිගු කලක් රෝහල් ගතව සිටීම,  කම්පනය, බහු අවයවික ආබාධ යන තත්ත්වයන්ට මග පාදමින් මෑත වසරවලදී  මරණ සංඛ්‍යාව වැඩි කිරීමට හේතු වී ඇත. ලොව පුරා වාර්ෂිකව මරණවලින් 10% ක් සහ රෝගාබාධවලින් 12% ක් තුවාල හේතුවෙන් වාර්තා වේ.

තුවාල කළමණාකරණය කර ගැනීම පිළිබඳ වත්මන අනුගමනය කෙරෙන  පිළිවෙත් සඳහා  වේදනාව සමනය කළ හැකි, ව්‍යාධිජනක ආසාදන තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට සමත් , වැඩිදුර තුවාලවීම්  අවම කිරීමට සමත් , තුවාල අවට තෙතමනය කළමනාකරණය කිරීම, අතිරික්ත ශ්‍රාව ගැලීම්  අවශෝෂණය කර ගැනීම සහ තුවාල සුව වීමේ ක්‍රියාවලිය  ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු පරිසරයක් ලබා දීම යන ගුණාංග සහිත  තුවාල ආවරණ  ද්‍රව්‍ය  භාවිතය ඇතුළත් වේ . සාර්ථක  තුවාල ආවරණ ද්‍රව්‍යයක ප්‍රධාන ලක්ෂණ වගුව 1 හි දක්වා ඇත. එසේ වුවද, තුවාල ආවරණ භාවිතය දිගු ඉතිහාසයක් සමඟ සම්බන්ධ වී ඇති අතර,එහිදී  තුවාල ආවරණය කිරීමට සහ වේදනාව අඩු කිරීමට මිනිසුන් විවිධ ස්වාභාවික කොළ, ආලේපන සහ රෙදි භාවිතා කර ඇත. මේ වන තුරු, සායනිකව   බොහෝ තුවාල ආවරණ ද්‍රව්‍ය නිපදවා ඇති අතර ඒවායේ භාවිතය   තුවාලයේ වර්ගය මත රඳා පවතී. මෙම ද්‍රව්‍යවලට ගෝස්, කපු පුළුන් වැනි සාම්ප්‍රදායික තුවාල ආවරණ ද්‍රව්‍ය  මෙන්ම හයිඩ්‍රොජෙල් සහ පෙන වැනි  වැඩිදියුණු කරනු ලැබූ  ද්‍රව්‍යද  ඇතුළත් වේ. මේවා ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශක, ප්‍රතිජනන ඖෂධ සහ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග තුවාලය වෙත ලබා දීම සිදු කරයි. ප්‍රතිජනනය වන  සෛල සහ බහිස්   සෛලීය  අනුකෘතිය සමඟ ඖෂධවල  හා වර්ධන සාධකයන්හි  අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමේදී මෙම තුවාල ආවරණ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. විවිධ තුවාල ආවරණ අතර Acticoat (Smith & Nephew), Fibracol (Johnson & Johnson) සහ Silvasorb (Medline) වැනි රිදී කාවද්දන ලද තුවාල ආවරණ වසර ගණනාවක් පුරා විශේෂ අවධානයට ලක්ව ඇත්තේ ඒවායේ ආසාදන වැළැක්වීමේ සුවිශේෂී හැකියාව හේතුවෙනි.

රූපය 1: තුවාල සුව වීමේ  ක්‍රියාවලියේ අදියර (Source: https://www.shieldhealthcare.com/community/popular/2015/12/18/how-wounds-heal-the-4-main-phases-of-wound-healing/ accessed 02/03/2024)

වගුව 1.  සාර්ථක තුවාල ආවරණයකින් අපේක්ෂිත ප්‍රධාන ලක්ෂණ

 ලක්ෂණය

 

විස්තරය
 විෂ ද්‍රව්‍ය  නොමැතිවීම  වර්ධනය වන සෛල වලට කිසිදු විෂවීමක් හෝ හානියක් ඇති නොකරයි.
 බැක්ටීරියා ආසාදනය අවම කිරීම    තුවාලය සුව කිරීම ප්‍රමාද කිරීමට හේතු වන බැක්ටීරියා ආක්‍රමණය වැළැක්වීම
ඇලෙනසුලු බව අන්තර්ගතය රඳවා ගැනීමට අවශ්‍ය ඇලවුම් ගුණය ලබා දීම.
 තෙතමන අන්තර්ගතය සෛල සංක්‍රමණය සහ ප්‍රගුණනය පහසු කිරීම සඳහා ප්‍රශස්ත තෙතමනය පවත්වා ගැනීම
 තාප පරිවරණය  තුවාල වූ ස්ථානයේ ප්‍රශස්ත උෂ්ණත්වය පවත්වා ගැනීම.
ශ්‍රාව ගැලීම් කළමනාකරණය  තුවාලයේ අතිරික්ත ශ්‍රාව ගැලීම අවශෝෂණය කර කාන්දු වීම, අප්‍රසන්න පෙනුම අවම කිරීම
 ඔක්සිජන් පාරගම්‍යතාව සෛල ප්‍රගුණනය

පහසු කිරීම සඳහා ඔක්සිජන් විසරණය සහ තුවාල වෙත සැපයීම වේගවත් කිරීම.

 භෞතික  ගුණාංග ප්‍රගුණනය වන තුවාලයට අවශ්‍ය  ශක්තිය ලබා දීම
අවම වේදනාව  ආවරණය යෙදීමේදී  සහ ඉවත් කිරීමේදී වේදනාව අවම කිරීම
 පිරිවැය ඵලදායීතාවය  දැරිය හැකි මිලක් වීම
 ලබා ගැනීමේ හැකියාව  බොහෝ රෝගීන් සඳහා ලබා ගත හැකි වීම

විවිධ වර්ගවල තුවාළ ආවරණ  වෙළඳපොලට හඳුන්වා දී ඇතත්, අඛණ්ඩ අභියෝග කිහිපයක් හේතුවෙන් ඒවායේ  ප්‍රතිලාභ ප්‍රශස්ත ලෙස රෝගීන් වෙත  ලබා දීමට බාධා එල්ල වේ. මෙහිදී පැන නගින සැලකිය යුතු ගැටළුවක්  වන්නේ රෝගියාට අපහසුතාවයක් ඇති කරමින්  තුවාලය සුව වීමේ ප්‍රගතිය දෘශ්‍ය ලෙස පරීක්ෂා කිරීම  සඳහා නිතර නිතර තුවාල ආවරණය මාරු කිරීම අවශ්‍ය වීමයි.එපමනක් නොව, ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධය වර්ධනය වීම, සුව වීම ප්‍රමාද වීම , අධි ආතති විඳදරාගැනීට නොහැකි වීම  සහ තුවාල පරිසරයේ ගතිකත්වය සකස් කිරීමට නොහැකි වීම (උදා: ප්‍රතිජීවක හෝ ඖෂධ මුදා හැරීම  පාලනය කිරීම) අනෙකුත් අභියෝග අතර වේ. එකම අවස්ථාවේදී  තුවාල තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් නියම කළ හැකි සුහුරු බහුකාර්ය තුවාල ආවරණ වැඩිදියුණු කිරීම  සඳහා ඇති අවශ්‍යතාව මේ හරහා අවධාරණය කෙරේ. තුවාලය සුව වීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම  සඳහා අවශ්‍ය කෙරෙන ගුණාංග සහිත ප්‍රශස්ත තුවාල ආවරණ වර්ගය හඳුනා ගැනීමට මේ හරහා  පරිශීලකයාට අවස්තථාව උදාවේ.

ඉහත සඳහන් කරුණු අතර, තුවාලයේ තත්ත්වය පිළිබඳ දෘශ්‍ය පරීක්‍ෂණය සඳහා නිතර නිතර තුවාල ආවරණ මාරු කිරීම    තුවාලයේ ප්‍රගතිය පිළිබඳ ඊළඟ තීරණ ගැනීමට වෛද්‍යවරුන්ට මඟ පෙන්වන තීරණාත්මක සාධකයකි.

මෙය රෝගියාට කම්පනයක් ඇති කරනවා පමණක් නොව, එය පැළඳ සිටින පුද්ගලයාට / රෝගියාට අමතක නොවන අමිහිරි  අත්දැකීමක් සඳහාද  දායක වේ.තවද  මෙම පිළිවෙත හරහා තුවාල ආසාදනයන්ට මග පාදමින්  බෝවන කාරකයන් ඇති කරන නව රෝග හඳුන්වා දීමේ අවදානමක්ද  පවතී.

මෙම ගැටළුව සඳහා විසඳුමක් ලෙස , ජෛව සලකුණු කාරකයක් හෝ තුවාලයේ පරාමිතියක් (pH අගය, උෂ්ණත්වය, විශේෂිත එන්සයිම, ග්ලූකෝස් මට්ටම, තෙතමනය මට්ටම, ඔක්සිජන් සාන්ද්‍රණය) වෙනස් කිරීම ආධාරයෙන් තුවාලයේ තත්ත්වය ග්‍රහණය කර ගත හැකි අභ්‍යන්තර සංවේදක සහිත සුහුරු තුවාල ආවරණ ජනනය කිරීමට පසුගිය වසර කිහිපය තුළ උත්සාහ ගෙන ඇත.  එහිදී වර්ණය, තාපය වැනි භෞතික පරාමිතියක් වෙනස් වීම ඇසුරෙන් තුවාල ආවරණය පැළඳ සිටින තැනැත්තාට ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබේ. මෙමඟින් තුවාල ආවරණය ඉවත් කිරීමෙන් තොරව තුවාලයේ තත්ත්වය පිලිබඳ තත්‍ය කාලීන අධීක්‍ෂණයට ඉඩ සලසා දී ඇත.ඒ සමඟම තුවාලය වෙත ඖෂධ අණු කාලීනව මුදා හැරීම සහ එකම  තුවාල ආවරණ  ද්‍රව්‍ය යෙදීමෙන් පටක පුනර්ජනනය සඳහාද ඉඩ සලසා දේ.

තුවාලය සුව වීමේ ක්‍රියාවලියේ විවිධ අවධීන් නිශ්චිත pH පරාසයන් සමඟ පැහැදිලිව සම්බන්ධ වී ඇති බැවින් තුවාලය ඇති ස්ථානයේ  pH අගය වෙනස් වීම, බොහෝ ජෛව සලකුණු අතරින් , තුවාලය සුව වීමේ ක්‍රියාවලිය පිලිබඳ  පැහැදිලි විකල්ප ඇඟවීමක් ලෙස සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද අත්හදා බැලීම් වලින් තහවුරු වී ඇත්තේ , තුවාලය සුව වීමේදී  අඩු pH අගයකට ළඟා වන බවත් සහ  ඉහළ pH අගයන් මගින් තුවාලය සුව වීම සඳහා යම් කාලයක් ගතවන බවත්ය. මෙම දිගු / නිදන්ගත තුවාල වල pH අගය 7.15-8.9 pH පරාසය තුළ දක්නට ලැබේ. එබැවින්, මෙම ක්ෂාරීය pH අගය උදාසීන සිට ආම්ලික pH අගය දක්වා ක්‍රමයෙන් සංක්‍රමණය වීම සුව වීමේ ක්‍රියාවලිය පිළිබඳ හොඳ ඇඟවීමක් ලෙස සැලකේ. එබැවින්, pH අගය නිරීක්ෂණය කිරීම, තුවාළ ආවරණය ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව තුවාලයේ තත්ත්වය තීරණය කිරීම සඳහා හොඳ උපාය මාර්ගයක් වනු ඇත.

දෘශ්‍යමය වශයෙන් රෝග විනිශ්චය කිරීම සඳහා pH අගය වෙනස් වීම පිළිබඳ ඇඟවීම, එය පහසුවෙන් හඳුනාගත හැකි වර්ණ වෙනසක් සමඟ සම්බන්ධ කිරීම අවශ්‍ය වේ. pH අගයන්ට සංවේදී වර්ණක අණු පැවතීම හේතුවෙන් විචිත්‍රවත් වර්ණ උත්පාදනය කිරීමට සමත්  හැලෝක්‍රොමික් ඩයි වර්ග මෙම කාර්යය සඳහා භාවිතා කළ හැක. මෙම සංකල්පය සැලකිල්ලට ගනිමින්, pH සංවේදී වර්ණ දර්ශක තුවාල ආවරණ ද්‍රව්‍ය නිෂ්පාදන  කිරීමට බොහෝ උත්සාහයන් ගෙන ඇත. මෙලෙස වැඩිදියුණු කරනු ලැබ  ඇති විවිධ ද්‍රව්‍ය අතර pH සංවේදී හයිඩ්‍රොජෙල් , රෙදිපිළි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොස්පුන් නැනෝ ෆයිබර්  භාවිතය වසර ගණනාවක් මුළුල්ලේ  දිනෙන් දින වැඩි  අවධානයක් දිනා ගෙන ඇත. මෙම ද්‍රව්‍ය, පියවි ඇසින් පහසුවෙන් හඳුනාගත හැකි වර්ණ වෙනස් වීමක්  සමඟ තුවාලය පිලිබඳ ඉතා නිවැරදි තොරතුරු ලබා දෙයි.

තවද,දැනට සිදු කෙරෙන පර්යේෂණ හරහා උසස් තත්ත්වයේ රූප ලබා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන වැනි සුහුරු උපාංග සමඟ සම්බන්ධ කිරීමෙන් තුවාලයේ pH අගය ප්‍රමාණාත්මකව අඛණ්ඩව මැන බැලීමේ සහ  නිශ්චිත මෘදුකාංගයක් හරහා අගයක් ජනනය කිරීමේ  හැකියාව ලබාදීම මගින් තුවාලයේ තත්ත්වය පිළිබඳ සෘජු අවබෝධයක් වෛද්‍යවරුන්ට ලබා ගැනීමට හැකි වේ.

විවිධ වර්ගයේ තුවාල ආවරණ ද්‍රව්‍ය ගත්කල හයිඩ්‍රොජෙල්  සඳහා මිනිස් සමේ පරිසරය අනුකරණය කිරීමට විශේෂ හැකියාවක් ඇති බැවින් සායනික සැකසුම තුළ බහුලව භාවිතා වේ.    තුවාලයේ pH අගය තක්සේරු කිරීම සඳහා පටල, ඉසිය හැකි හයිඩ්‍රොජෙල් සහ එන්නත් කළ හැකි ජෙල් වැනි විවිධ හයිඩ්‍රොජෙල් වර්ග එයටම යා කරනු ලැබූ සංවේදක සමඟින් නිර්මාණය කර ඇත. මෙම හයිඩ්‍රොජෙල් වර්ග ජෙලටින්, කොලජන්, ඇල්ජිනේට්, චිටෝසන්, හයුලූරොනික් අම්ලය වැනි ස්වාභාවික ජෛව අනුකූල බහුඅවයවික භාවිතා කරමින් මෙන්ම පොලි [ලැක්ටික්-කො-ග්ලයිකොලික් අම්ලය] පීඑල්ජීඒ සහ පොලි(වයිනයිල් ඇල්කොහොල්) පීවීඒ වැනි කෘතිම බහුඅවයවික  භාවිතා කරමින් සකස් කර ඇත. තවද, උසස් මට්ටමේ  තුවාල සුව කිරීමේ ගුණ ලබා ගැනීම සඳහා කෘතිම හා ස්වාභාවික බහු අවයවක වලින් සමන්විත සංයුක්ත හයිඩ්‍රොජෙල් සකස් කිරීමට ද උත්සාහ දරා ඇත. මෙම අධ්‍යයනවලින් සමහරක් ප්‍රතිජීවක ස්පන්දන ආකාරයෙන් නිකුත් කළ හැකි වර්ණ වෙනස් කිරීමේ බහුකාර්ය තුවාල ආවරණ වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත. මහාචාර්ය අක්බාරි පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගන්නා ලද “GelDerm” එවැනි වාණිජමය වශයෙන් දියත් කරන ලද නිෂ්පාදනයක් වේ (රූපය 2). තුවාලය මත තුවාල ආවරණය තැබූ පසු තුවාල වූ ස්ථානය වෙත ප්‍රතිජීවක කාරකය අඛණ්ඩව මුදා හැරීමට මෙම හයිඩ්‍රොජෙල් වර්ගය සමත් වේ. සාම්ප්‍රදායික ප්‍රවේශයන් හා සසඳන විට, ප්‍රතිජීවක අඛණ්ඩව මුදා හැරීමේ හැකියාව සහ තෙතමනය කළමනාකරණයට අමතරව  විශේෂයෙන් pH අගයේ විචලනයත් සමඟ තුවාල වූ ස්ථානයේ වර්ණවත් සිතියමක් ජනනය කිරීමට මෙම ජෙල් වර්ගය සමත් වේ.

රූපය 2. තුවාලය සුව වීමේ ක්‍රියාවලිය මැනීම සඳහා නිපදවා ඇති pH සංවේදී ඩයි (ගෝවා සාරය) සහිත GelDerm හි ඒකාබද්ධ පද්ධතියක්. A) PH-සංවේදී සහ ඖෂධ මුදා හැරෙන සංරචක සහිතව අපිචර්මීය තුවාල සඳහා GelDerm ඇසුරෙන් සිදු කෙරෙන ප්‍රතිකාර සරලව   නිරූපණය කිරීම. B-i) සම-අක්ෂීය ප්‍රවාහ ක්ෂුද්‍ර තරල තුණ්ඩයකින් සමන්විත ත්‍රිමාණ ජෛව මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් සවිවර සංවේදක නිපදවා ඇත (i). B-ii) සම-අක්ෂීය ප්‍රවාහ පද්ධතිය භාවිතයෙන් තන්තු තැන්පත් කිරීම සරලව නිරූපණය කිරීම B-iii) විශාල පරිමාණයෙන් තුවාල ආවරණ නිෂ්පාදනය සඳහා සවිවර සංවේදක අරාවන් නිපදවීමට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් වැඩසටහන්ගත කළ හැක.C) ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා තුවාල ආවරණ ලයොෆිලීකරණය කර විෂබීජහරණය කළ හැකිය. D) සංවේදක නිපදවීම සඳහා ආදර්ශ pH දර්ශක ලෙස කෘතිම දීප්තිමත් කහ සහ ස්වභාවිකව ලබාගත් ගෝවා යුෂ භාවිතා කරන ලදී (අක්බාරි සහ වෙනත් අයගේ අවසරය ඇතිව නැවත මුද්‍රණය කරන ලදී., 20283 ).

රූප සටහන 3 හි පෙන්වා ඇති පරිදි, හයිඩ්‍රොජෙල් වලට අතිරේකව, pH සංවේදී රෙදිපිළි ද්‍රව්‍ය, කපු පුළුන් සහ හැලෝක්‍රොමික් ඩයි කාවද්දන ලද මෙසොපොරස් ඇල්ජිනේට් පබළු ද ඉහත කී අරමුණ සපුරාලීම සඳහා වැඩිදියුණු කරනු ලැබ ඇත. තුවාල සුව කිරීමේ ද්‍රව්‍ය ලෙස ඉලෙක්ට්‍රොස්පන් නැනෝ තන්තු භාවිතය ගවේෂණය කිරීම කෙරෙහි ද මෑතකාලයේදී  අවධානය යොමු වී ඇත.මෙම ද්‍රව්‍ය බහිස්සෛලීය  න්‍යාසය (ECM) සමඟ  කැපී පෙනෙන අන්දමේ අනුකූලත්වයක් දක්වන අතර, ඔක්සිජන් පාරගම්‍යතාව ප්‍රවර්ධනය කිරීම සහ අවශෝෂණ ධාරිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පෘෂ්ඨ වර්ගඵලයට පරිමාව දරන  අනුපාතය ඉහල අගයකින් යුක්ත වේ. තුවාලය සුව කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයන ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක සංයෝග නිකුත් කිරීම වැනි අමතර ලක්ෂණ කිහිපයක් ද දරා ගැනීමට ඒවා සකස් කර ඇත.

රූප සටහන 3. විවිධ වර්ගයේ pH සංවේදී වර්ණ වෙනස් කරන තුවාල ආවරණ උපස්ථර (a) හයිඩ්‍රොජෙල් (b)  රෙදිපිළි, (c)  කපු පුළුන්,  (d) mesoporous silica beads සහ  (e) electrospun nanofibers (https://www.chemistryviews.org/details/news/10644597/Multifunctional_Hydrogel_Wound_Dressing/, වෙතින් අවසරය ඇතිව නැවත මුද්‍රණය කර ඇත. Hu et al., 202014, Mohr at al., 201715, Yu et al., 202216 and Arafat et al., 202111)

මෙම සුහුරු තුවාල ආවරණ භාවිතයේදී  , තුවාලයේ තත්ත්වය පිළිබඳ ඇඟවීම තීරණය කරන ප්‍රධාන සාධකය මෙන්ම තුවාලය සුව වන වේගය නිර්වචනය කරන පරාමිතිය වන්නේ තුවාලයේ pH අගය වන අතර එය වර්ණක අණු සහිත pH සංවේදී දර්ශක සායම් හරහා අනාවරණය කර ගැනේ.ඉහත  අරමුණ සපුරා ගැනීම සඳහා බ්‍රෝමොක්‍රෙසෝල් ග්‍රීන්, බ්‍රෝමොක්‍රෙසෝල් පර්පල්, මෙතිලීන් බ්ලූ සහ ෆීනෝල් ​​රෙඩ් වැනි විවිධ හැලෝක්‍රොමික් ඩයි අණු මේ දක්වා භාවිතා කර ඇති අතර එහිදී ඒවා තුවාලයක pH අගය සහ එය සුව වූ තත්ත්වය අතර පැහැදිලි වර්ණ මායිම් ප්‍රදර්ශනය කර ඇත.මේවාට අමතරව pH සංවේදී තුවාල ආවරණ සෑදීමේදී ප්‍රතිදීප්ත pH සංවේදී ඩයි වර්ග ද ජනප්‍රිය වී ඇත.  කෙසේ වෙතත්, යම් මට්ටමකින්   විෂ සහිත වීමත්   සහ ජෛව අනුකූලතා ගැටළු හේතුවෙන්, වෛද්‍ය යෙදුම් සඳහා කෘත්‍රිම හැලෝක්‍රොමික් ඩයි වර්ග භාවිතය සුදුසු නොවන බව නිරීක්ෂණය වී ඇත. ඊට අමතරව, ඒවායේ pH අගය සඳහා ප්‍රතිචාර දැක්වීම යම් පරාසයකට සීමා වී ඇති බව හඳුනාගනු ලැබ ඇති අතර එබැවින් වඩා හොඳ ප්‍රතිචාරයක් ලබා දීම සඳහා ඩයි වර්ග සංයෝගයක් තිබීම සඳහා වැඩි ඉල්ලුමක් පැන නැග ඇත.

එබැවින්, වර්ණ වෙනස් කරන තුවාල ආවරණ සංවර්ධනය සඳහා ඇන්තොසියානින්, කර්කියුමින්, බීටාලයින්, ක්ලෝරෝෆිල්ස් සහ බීටැසියානින් වැනි ස්වභාවික වර්ණක භාවිතය කෙරෙහි මෑතකාලයේදී  වැඩි උනන්දුවක් යොමු වී ඇත. මෙම ඩයි වර්ග විවිධ ශාක ප්‍රභවයන්ගෙන් සහ ශාක කොටස් වලින් නිස්සාරණය කර ඇත. මේවායින් සමහරක් සතුව ප්‍රතිඔක්සිකාරක, ඉදිමුම හා දැවිල්ල අවම කිරීමේ  , ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සහ පිළිකා නාශක ගුණ ඇති බව ද සොයා ගනු ලැබ ඇත. මෙම සායම් ද්‍රව්‍ය අතර, pH අගය 1-14 පරාසය හරහා පුළුල් වර්ණ සහිත වර්ණාවලියක් පුරා වර්ණ ප්‍රතිචාරය දීර්ඝ කිරීමට ඇති හැකියාව නිසා ඇන්තොසියානින් ඉතා ජනප්‍රිය වී ඇත. රූප සටහන 4 හි දක්වා ඇති පරිදි pH අගය ආම්ලික සිට භාෂ්මික  දක්වා වෙනස් වීමත් සමඟ මෙම වර්ණ විචලනය පැහැදිලිවම රෝස (ආම්ලික) සිට, දම්, නිල්, කොළ (භාෂ්මික) දක්වා සිදු වේ. බෙරි, වියළි මිදි, මිදි සහ සමහර ඝර්ම කලාපීය පලතුරු වැනි ප්‍රභවයන්ගෙන් ඇන්තොසියානින් බහුලව ලබා ගනී. එපමණක්ද නොව, වද සහ නිල කටරොලු වැනි සමහර පුෂ්ප වල වැඩි වශයෙන් පවතින බවද සොයාගෙන ඇත.

රූප සටහන 4. pH අගය 4-10 සීමාව හරහා ඇන්තොසියානින් ඩයි වල වර්ණ ප්‍රතිචාරය සහ තුවාලයේ pH අගය මැනීම සඳහා විවෘත තුවාලයක් මත ඇන්තොසියානින් අඩංගු කරනු ලැබූ  nanosheet යෙදීම (al., 2016 දී Karaca වෙතින් අවසරය ඇතිව නැවත මුද්‍රණය කරන ලදී.,2021 )

ස්වභාවික ඩයි වර්ග සහ ඒවායේ වර්ණ වෙනස් කිරීමේ ආකාර  ඇතුළත් කර සකස් කර ඇති තුවාල ආවරණ ද්‍රව්‍ය කිහිපයක් පහත රූප සටහන 5 හි දක්වා ඇත. තිරසාර සංකල්පය ප්‍රවර්ධනය කරමින් ස්වභාවධර්මයේ බහුලව දක්නට ලැබෙන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ඒවා ප්‍රධාන වශයෙන් සකස් කර ඇත.

නව මුහුණුවරක් සහිත  තුවාල ආවරණ ද්‍රව්‍ය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව ලබා ඇති විද්‍යාත්මක ප්‍රගතිය, ජයග්‍රහණ සහ වාණිජකරණය යන කරුණු සලකා බලන විට, පහත සබැඳි හරහා ඔබට මෙම පර්යේෂණ ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති නවතම කාර්යයන් පිලිබඳ තොරතුරු ලබා ගත හැක.

https://newatlas.com/color-changing-dressing/16808/

https://www.trendhunter.com/trends/colorchanging-wound-dressings

https://insights.globalspec.com/article/20383/color-changing-wound-dressing-reveals-infections

5 රූපය. Curcumin (කහ සාරය) සහ ක්රැන්බෙරි සාරය අඩංගු කරනු ලැබූ වර්ණ වෙනස් කිරීමේ හැකියාව සහිත සුහුරු තුවාල ආවරණ (Arafa et al., 2021 සහ Zepon et al., 2019 අවසරය ඇතිව නැවත මුද්‍රණය කරන ලදී).

අවසන් නිගමනයක් ලෙස, සායනික සැකසුම් සඳහා මහා පරිමාණයෙන් මෙම ද්‍රව්‍ය යොදාගැනීමේ ඉලක්කය  වර්තමානයේදී සාක්ෂාත් කර ගෙන නොමැති බව සටහන් කළ හැකිය.එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ජයගත යුතු අභියෝග කිහිපයක් පවතින බව නිරීක්ෂණය වේ. එම අභියෝගයන් අතරට විවිධ කාර්යයන් ගණනාවක් සඳහා යොදා ගැනීම වලක්වා ලන මෙම ද්‍රව්‍යයන්හි   සංකීර්ණ පිරිසැලසුම, ඩයි වර්ගවල ස්වාභාවික සැපයුමේ හිඟය, ජෛව අනුකූලතා අධ්‍යයනයන් නොමැතිකම සහ නැනෝ ද්‍රව්‍ය භාවිතයට බිය මෙන්ම බහුකාර්ය හැකියාව අතින් ගත්කල දුර්වල කාර්යක්ෂමතාවද ඇතුළත් වේ. කෙසේ වෙතත්, සඳහන් කර ඇති බාධා නොතකා,අනාගතයේදී  වර්ණ වෙනස් වීමේ  pH සංවේදී ගුණය සමඟින්  තුවාල සුව කිරීම කාර්යයේදී   බොහෝ විට සෛල සහිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර   සුව නොවන තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට ඒකාබද්ධ කරනු ලැබූ සංවේදක සහිත නැනෝ ද්‍රව්‍ය සමඟ සුහුරු ප්‍රවේශයකින් එය සිදු කෙරෙනු ඇත.

References

  1. Pan, N., Qin, J., Feng, P., Li, Z. & Song, B. Color-changing smart fibrous materials for naked eye real-time monitoring of wound pH. J. Mater. Chem. B 7, 2626–2633 (2019).
  2. Tavakoli, S. & Klar, A. S. Advanced hydrogels as wound dressings. Biomolecules 10, 1–20 (2020).
  3. Bahram Mirani. An Advanced Multifunctional Hydrogel-Based Dressing for Wound Monitoring and Drug Delivery. Adv Heal. Mater. 6, 1–26 (2017).
  4. Chowdhury, S. & Chakraborty, P. pratim. Universal health coverage ‑ There is more to it than meets the eye. J. Fam. Med. Prim. Care 6, 169–170 (2017).
  5. Li, M. et al. Smart and versatile biomaterials for cutaneous wound healing. Biomater. Res. 27, 1–32 (2023).
  6. Pakolpakçıl, A. et al. Design and in vivo evaluation of alginate-based pH-sensing electrospun wound dressing containing anthocyanins. J. Polym. Res. 28, 1–13 (2021).
  7. Dabiri, G., Damstetter, E. & Phillips, T. Choosing a Wound Dressing Based on Common Wound Characteristics. 5, 32–41 (2016).
  8. Gefen, A. et al. How Should Clinical Wound Care and Management Translate to Effective Engineering Standard Testing Requirements from Foam Dressings? Mapping the Existing Gaps and Needs. Adv. Wound Care 13, 34–52 (2024).
  9. Arafa, A. A., Nada, A. A., Ibrahim, A. Y., Zahran, M. K. & Hakeim, O. A. Greener therapeutic pH-sensing wound dressing based on Curcuma Longa and cellulose hydrogel. Eur. Polym. J. 159, 110744 (2021).
  10. Gamerith, C. et al. pH-responsive materials for optical monitoring of wound status. Sensors Actuators, B Chem. 301, 126966 (2019).
  11. Arafat, M. T., Mahmud, M. M., Wong, S. Y. & Li, X. PVA/PAA based electrospun nanofibers with pH-responsive color change using bromothymol blue and on-demand ciprofloxacin release properties. J. Drug Deliv. Sci. Technol. 61, (2021).
  12. Eskilson, O. et al. Nanocellulose composite wound dressings for real-time pH wound monitoring. Mater. Today Bio 19, (2023).
  13. Han, Z. et al. pH-Responsive wound dressings: advances and prospects. Nanoscale Horizons 8, 422–440 (2023).
  14. Vu, H. et al. A Device to Predict Short-Term Healing Outcome of Chronic Wounds. Adv. Wound Care 9, 312–324 (2020).
  15. Schaude, C. et al. The development of indicator cotton swabs for the detection of pH in wounds. Sensors (Switzerland) 17, (2017).
  16. Patel, S. et al. Wearable electronics for skin wound monitoring and healing. Soft Sci. 2, (2022).
  17. van der Schueren, L. & de Clerck, K. Coloration and application of pH-sensitive dyes on textile materials. Color. Technol. 128, 82–90 (2012).
  18. Kurečič, M. et al. A multifunctional electrospun and dual nano-carrier biobased system for simultaneous detection of pH in the wound bed and controlled release of benzocaine. Cellulose 25, 7277–7297 (2018).
  19. Li, Z. et al. Silk fibroin–gelatin photo-crosslinked 3D-bioprinted hydrogel with MOF-methylene blue nanoparticles for infected wound healing. Int. J. Bioprinting 9, (2023).
  20. Dressings, W. A pH-Indicating Colorimetric Tough Hydrogel Patch Wound Dressings. (2017) doi:10.3390/polym9110558.
  21. Al-Hawat, M. L. et al. Fluorescent pH-sensing bandage for point-of-care wound diagnostics. Aggregate 1–8 (2023) doi:10.1002/agt2.472.
  22. Adamu, B. F. et al. Self-Responsive Electrospun Nanofibers Wound Dressings: The Future of Wound Care. Adv. Mater. Sci. Eng. 2022, (2022).
  23. Tena, N., Martín, J. & Asuero, A. G. State of the art of anthocyanins: Antioxidant activity, sources, bioavailability, and therapeutic effect in human health. Antioxidants 9, (2020).
  24. Salacheep, S. et al. Optimization of ultrasound-assisted extraction of anthocyanins and bioactive compounds from butterfly pea petals using Taguchi method and Grey relational analysis. J. Food Sci. Technol. 57, 3720–3730 (2020).
  25. Maciel, L. G. et al. Hibiscus sabdariffa anthocyanins-rich extract: Chemical stability, in vitro antioxidant and antiproliferative activities. Food Chem. Toxicol. 113, 187–197 (2018).
  26. Zepon, K. M. et al. Smart wound dressing based on κ–carrageenan/locust bean gum/cranberry extract for monitoring bacterial infections. Carbohydr. Polym. 206, 362–370 (2019).

කතුවරයාගේ නම: ආචාර්ය ධනුෂිකා. සී මනතුංග
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව, තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Author

Related Articles

Back to top button