Must ReadScience Insiderජනප්‍රියතම ලිපිනැනෝ තාක්ෂණය

නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම

ආචාර්ය ඉඳුනි ඩබ්ලිව්. සිරිවර්ධන,ජේෂ්ඨ කථිකාචාර්ය පරිගණක සහ තාක්ෂණ පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmetics) සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmeceuticals)  ලොව පුරා බොහෝ දෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබේ. මන්ද ඔවුන් වර්තමානයේ ගත කරන අතිශය කාර්යබහුල ජීවන රටා තුළ පවා පුද්ගලයන්ගේ සුන්දරත්වය සහ ශාරීරික පෙනුම පවත්වා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට ඒවා උපකාරී වන බැවිනි.1961 දී රේමන්ඩ් රීඩ් විසින් නිර්මාණය කරන ලද “රූපලාවන්‍ය ආලේපන” යන යෙදුමට, ශරීරයෙහි ව්‍යුහයට හෝ ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල නොකරන, සම පිරිසිදු කිරීමට සමත් සහ සමේ සුන්දරත්වය ප්‍රවර්ධනය කෙරෙන නිෂ්පාදන ඇතුළත් වේ.ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ඊට ප්‍රතිවිරුද්ධව, ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී අමුද්‍රව්‍ය ඇතුළත් වන රූපලාවන්‍ය නිෂ්පාදන වන අතර ඒ හේතුවෙන් ඒවා ආලේප කිරීම හරහා  යම් චිකිත්සක ප්‍රතිලාභයක් අත් වේ. වෙනත් වචන වලින් කිවහොත්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ අතර අතරමැදි ද්‍රව්‍යයක් ලෙස ඖෂධීය ගුණාංග සහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය සැලකිය හැකිය.රූපලාවන්‍ය ද්‍රව්‍ය  සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවන්‍ය යන දෙකොටසටම  සම රැකවරණය, හිසකෙස් රැකවරණය, නිය රැකවරණය, මුඛ සත්කාර, වේශ නිරූපණ සහ වර්ණ ආලේපන, සුවඳ විලවුන් වැනි නිෂ්පාදන කාණ්ඩ කිහිපයක් ඇතුළත් වේ.

ගෝලීය රූපලාවන්‍ය වෙළඳපොල මෙහෙයවන අත්‍යවශ්‍ය සාධක අතරට පෞද්ගලික  පෙනුම කෙරෙහි පාරිභෝගික අවධානය ඉහළ යාම, වේගවත් නාගරීකරණය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු වීම, පාරිභෝගිකයින්ගේ ඒක පුද්ගල ආදායම ඉහල යාම යනාදිය    ඇතුළත් වේ.’Allied Market Research’ ට අනුව, 2016-2022 පුරෝකථන කාල සීමාව තුළ 4.3% ක CAGR යටතේ, 2022 වන විට ගෝලීය රූපලාවන්‍ය වෙළඳපොල ඩොලර් බිලියන 429.8 ක් උපයා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‘Industry Research’ විසින් කරන ලද තවත් සමීක්ෂණයක් පෙන්වා දී ඇත්තේ 2021-2026 පුරෝකථනය කරන ලද කාල සීමාව තුළ 4.5% ක CAGR යටතේ, 2020 දී USD මිලියන 128 ක් වූ ගෝලීය රූපලාවන්‍ය සම ආරක්ෂණ වෙළඳපල ප්‍රමාණය 2026 වන විට USD මිලියන 135 දක්වා ළඟා වනු ඇතැයි යන්නයි. කලාපය අනුව රූපලාවණ්‍ය වෙළඳපලෙහි  ඛණ්ඩනය සලකා බැලීමේදී, ආසියා-ශාන්තිකර  කලාපය විලවුන් සඳහා විශාලතම වෙළඳපොළ වන අතර එය රූපලාවන්‍ය කර්මාන්තයේ විවිධත්වයෙන් ඉහළ සහ ක්‍රියාශීලීත්වයෙන් වැඩි  වෙළඳපොලක් වේ.සම රැකවරණ, හිරු රැකවරණ, හිසකෙස් රැකවරණ, වර්ණ ආලේපන, ඩියෝඩ්‍රන්ට් සහ සුවඳ විලවුන් මෙම කලාපයේ භාවිතා වන ජනප්‍රිය රූපලාවන්‍ය කාණ්ඩ කිහිපයකි.වැඩිවන ජනගහනය සහ ඉන්දියාව, චීනය සහ ඉන්දුනීසියාව වැනි ආසියා-ශාන්තිකර  කලාපයේ නැගී එන ආර්ථිකයන් සහ පාරිභෝගිකයින්ගේ ඒක පුද්ගල  ආදායම ඉහළ යාමත් සමඟ ආසියා-ශාන්තිකර  කලාපය ඉහළම වර්ධන වේගයකින් පුළුල් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.සම සහ හිරු ආරක්ෂණ කාණ්ඩය සඳහා වන නිෂ්පාදන බහුලව භාවිතා වන අතර ඒවා ආසියා-ශාන්තිකර කලාපයේ  රූපලාවණ්‍ය වෙළඳපොළ සඳහා විශාලතම ආදායම උත්පාදනය කර දෙයි.සම රැකවරණ සහ හිරු ආරක්ෂණ කාණ්ඩයේ විශාලතම වෙළඳපල කොටස චීනය සතු වන අතර ජපානය දෙවනුව සිටී. ගෝලීය රූපලාවණ්‍ය වෙළඳපොලේ සැලකිය යුතු වෙළඳපල අනුපාතයක් සඳහා යුරෝපය ද දායක වී ඇත. රූපලාවණ්‍ය නිෂ්පාදනවල වර්ධනයට බලපාන එක් වැදගත් සාධකයක් වන්නේ පාරිභෝගිකයින් අතර වයස්ගත වීම වැළැක්වීමේ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය වැඩි වීමයි.

වෙනත් ඕනෑම පාරිභෝගික නිෂ්පාදනයක් සම්බන්ධයෙන් මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍යවලද වැඩිදියුණු කළ නිෂ්පාදනයන්  පාරිභෝගිකයින්  විසින් අපේක්ෂා කෙරෙන  අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලසීමාවක් තුළ රූපලාවන්‍ය හා සම්බන්ධ බහුවිධ ගැටළු නිරාකරණය කිරීමට සමත්  රූපලාවන්‍ය ද්‍රව්‍ය  සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා  නව තාක්ෂණයන් ඇතුළත් කිරීම සිදු කෙරේ.  රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී නව අමුද්‍රව්‍ය භාවිතය හේතුවෙන් යුරෝපයේ රූපලාවන්‍ය වෙළඳපොල දැවැන්ත තාක්‍ෂණික සංවර්ධනයකට ලක්ව ඇත. මීට අමතරව, ස්වභාවික හා කාබනික රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමද  ලොව පුරා රූපලාවන්‍ය වෙළඳපල වර්ධනයට හේතු වී ඇත.කෘත්‍රිම අමුද්‍රව්‍යවල අහිතකර බලපෑම් පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය ඉහල යාම හේතුවෙන් සංවර්ධිත ආර්ථිකයන්හි මෙම  කාබනික රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.ස්වාභාවික, ශාකසාර සහ කාබනික රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ඉහළ යන ඉල්ලුම, පාරිභෝගික මනාපයන් අනුව නිෂ්පාදකයින්ට නව සංයෝග  නිර්මාණය කිරීමට සහ සංවර්ධනය කිරීමට අවස්ථා නිර්මාණය කරයි.

වඩාත් මෑතකාලීන තාක්ෂණික විප්ලවය ලෙස  නැනෝ තාක්ෂණයද   වඩා හොඳ පාරිභෝගික තෘප්තියක් ඇතිකිරීමට සමත් නව්‍ය නිෂ්පාදන බිහිකිරීම උදෙසා රූපලාවන්‍ය ද්‍රව්‍ය / ඖෂධීය ගුණාංග සහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන  කර්මාන්තයට සම්බන්ධ වී ඇත. වාර්තාවලට අනුව, නැනෝ ද්‍රව්‍ය සහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය 2015 වසරේදී ඩොලර් බිලියන 2.6 ක් පමණ වූ අතර 2022 වසර වන විට එය ඩොලර් බිලියන 55.3 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.නැනෝ තාක්‍ෂණයට වර්ණය, විනිවිදභාවය, ද්‍රාව්‍යතාව, වයනය සහ කල්පැවැත්ම ඇතුළුව රූපලාවන්‍ය ද්‍රව්‍යවල ගුණ සහ ක්‍රියාකාරීත්වය  වැඩි දියුණු කළ හැක. ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  ) සතුව ක්‍රියාකාරී අමුද්‍රව්‍යවල  පාලිත මුදා හැරීම, වැඩි කාර්යක්ෂමතාවෙන් යුතු නිෂ්පාදනයක් වීම , වැඩි දියුණු කරන ලද සංවේදී ගුණාංග සහ වඩාත් ස්ථායී නිෂ්පාදනයක්  වීම  යන වාසි ඇත.මෙම ගුණාංග අත් කර ගෙන ඇත්තේ  ඖෂධීය ගුණාංග සහිත රූපලාවන්‍ය ද්‍රව්‍යවල නැනෝ පරිමානයෙහි විශාලිත මතුපිට ප්‍රදේශය හේතුවෙන් වන අතර ඒ හරහා ග්‍රහණය කර ගැනීමේ කාර්යක්ෂමතාව උපරිම තත්ත්වයකට පත්කෙරෙන අතර සම විනිවිද යාමේ හැකියාවද වර්ධනය කරයි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් විශේෂ විශාල ප්‍රමාණයක් නිපදවීම, ඉදිමීම , DNA වලට හානි වීම, ප්‍රෝටීන් සහ පටල වලට නැනෝ අංශු මගින් හානි වීම යනාදිය  හේතුවෙන්, ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  ) මානව පටක සෛල වලට විෂ වීමේ අවාසිද තිබිය හැක. ඖෂධීය ගුණාංග සහිත රූපලාවන්‍ය නිෂ්පාදන දියුණු කිරීමේදී නැනෝ තාක්‍ෂණය භාවිතා කිරීම  ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ  සලකා බැලිය හැක; (1) සක්‍රීය අමුද්‍රව්‍ය ලෙස නැනෝ ද්‍රව්‍ය භාවිතය (2) සක්‍රීය ද්‍රව්‍ය ඵලදායී ලෙස බෙදා හැරීම සඳහා නැනෝ වාහක භාවිතය.ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  නිපදවීමේදී භාවිතා කරන නැනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය සඳහා  නැනෝ ලෝහ (උදා: වයස්ගත වීම වැළැක්වීමේ යෙදුම් සඳහා භාවිතා කරන නැනෝ රත්‍රන්), නැනෝ ලෝහ ඔක්සයිඩ (උදා: nano TiO2, nano ZnO හිරු  ආවරණ  නිෂ්පාදන සඳහා භාවිතා වේ) සහ කාබන් නැනෝ ද්‍රව්‍ය (උදා: හිසකෙස්වර්ණ ගැන්වීමේ කාරක සඳහා භාවිතා කරන කාබන් නැනෝ ටියුබ්) ඇතුලත් වේ.  ඕස්ට්‍රේලියාවේ, TiO2 සහිත හිරු ආවරණවලින් 70%ක පමණ සහ ZnO සහිත හිරු ආවරණවලින් 30%ක නැනෝ අංශු ආකාරයෙන් ඒවා අඩංගු වේ. කෙසේ වෙතත්, මෙම කාණ්ඩය ඔවුන්ගේ අහිතකර විෂ සහිත බලපෑම් හේතුවෙන්  සෘජුවම අභියෝගයට ලක් වේ. අනෙක් අතින් ගත්කල , නැනෝ වාහකයන් ඔවුන්ගේ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව සහ රූපලාවන්‍ය නිෂ්පාදනවල ‘සාමාන්‍යයෙන් ආරක්ෂිත’ (GRAS) නියෝජිතයන් ලෙස සැලකීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින්ගේ අවධානයට ලක්ව ඇත. මෙම නැනෝ වාහකයන්ට නැනෝඑමල්ෂන්, නැනෝසෝම, නැනෝගෝල, නියෝසෝම, පොලිමර්සෝම, ලිපොසෝම, ඝන ලිපිඩ නැනෝ අංශු සහ ඩෙන්ඩ්‍රිමර් ඇතුළත් වේ. L’Oreal, Henkel, Unilever, Avon, Estee Lauder වැනි බොහෝ ප්‍රමුඛ රූපලාවන්‍ය සමාගම් දැනටමත් ඔවුන්ගේ රූපලාවන්‍ය නිෂ්පාදන සංවර්ධනය සඳහා නැනෝ තාක්‍ෂණය භාවිතා කරන අතර දැනට වෙළඳපොලේ නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය / ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals) නිෂ්පාදන බොහොමයක් තිබේ.

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදන  (C&T) කර්මාන්තය පසුගිය දශක කිහිපය තුළ ක්‍රමානුකූල වර්ධනයක් වාර්තා කර ඇත.රට තුළ දේශීය  රූපලාවන්‍ය සහ රූපාලංකරණ  ද්‍රව්‍ය නිෂ්පාදකයින් 120 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර එවැනි නිෂ්පාදන ආනයනය කරන්නන් 100 කට වැඩි ප්‍රමාණයක් ඇත. දැනට දේශීය වෙළඳපොලේ රූපාලංකරණ නිෂ්පාදන 2500කට අධික ප්‍රමාණයක්, සම ආරක්ෂණ නිෂ්පාදන  1,800ක්, හිසකෙස් සත්කාර නිෂ්පාදන 1,200ක් සහ ළදරු සත්කාර නිෂ්පාදන 175කට අධික ප්‍රමාණයක් පවතී.කෙසේ වුවද, බොහෝ දේශීය රූපලාවන්‍ය නිෂ්පාදකයින් තවමත් සාම්ප්‍රදායික සංයෝග සහ නිෂ්පාදන ක්‍රියාවලීන් කෙරෙහි සිය අවධානය යොමු කර ඇති අතර ජාත්‍යන්තර වෙළඳපොළට ළඟා වීමට ඉලක්ක කර ගෙන ඇති සමාගම් සංඛ්‍යාව අතලොස්සකි. කෙසේ වෙතත්, බොහෝ ප්‍රමුඛ නිෂ්පාදකයින් විසින් ස්වභාවික අමුද්‍රව්‍ය ඇතුළත් කිරීමේ සාමාන්‍ය ප්‍රවණතාවය අනුගමනය කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ සන්නාම කිහිපයක් පැරණි ලාංකීය  සහ ආයුර්වේද අමුද්‍රව්‍යවලින් පොහොසත් සංයෝග නිපදවීමට පියවර ගෙන ඇති අතර එම කරුණ ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළු වීම සඳහා වන සුවිශේෂී අලෙවි  ලක්ෂ්‍යය  (USP) ලෙස භාවිතා කර ඇත.දැනට එවැනි එක් සන්නාමයක් සතුව සියලුම ස්වභාවික ආයුර්වේද ආභාසය ලැබූ පුද්ගලික සත්කාර, සුවතා සහ ගෘහයන්  සුවඳවත් කිරීමේ  නිෂ්පාදන ( home aroma products) 450කට අධික නිෂ්පාදන පරාසයක් ඇත.කෙසේ වෙතත්, අප දන්නා පරිදි ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  සංවර්ධනය, තවමත් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදකයින් බොහෝමයකගේ අවධානය යොමු  වූ ක්ෂේත්‍රයක් නොවේ. දේශීය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු විසින් වැඩි දියුණු කරන ලද රන් ප්‍රතිකාර නිෂ්පාදන මාලාව නැනෝ රත්‍රන් සක්‍රීය අමුද්‍රව්‍යයක් ලෙස ඇති ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )   නිෂ්පාදන පරාසයකි.කෙසේ වෙතත්, L’Oréal, Lancôme වැනි සමහර ජාත්‍යන්තර ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  ) සන්නාම දේශීය වෙළඳපොලේ ඇති  නමුත් ඉහළ මිල ගණන් යටතේ සුඛෝපභෝගී නිෂ්පාදන ලෙස පවතී. එබැවින්, ඒවා ඉතා ඉහළ මට්ටමේ එක පුද්ගල ආදායමක් සහිත ඉතා පටු වෙළඳපල කොටසකට පමණක් සීමා වේ.එපමනක් නොව, “නැනෝ” යන යෙදුම අලෙවිකරණ මෙවලමක් ලෙස ඇති සමහර ජාත්‍යන්තර සන්නාමයන් සමහර අන්තර්ජාල අලෙවිකරණ වේදිකාවන් හරහා ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලැබේ.කෙසේ වෙතත්, ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  ලෙස ඔවුන්ගේ ප්‍රකාශවල අව්‍යාජභාවය සහ නිෂ්පාදනයේ සඵලතාවය සැක සහිත ය. තවද, පසුගිය දශකය තුළ නිසි රෙගුලාසි නොමැතිකම හේතුවෙන්, ශ්‍රී ලංකා වෙළඳපොළ ලියාපදිංචි නොකළ රූපලාවන්‍ය ද්‍රව්‍යවලින් පිරී ගිය අතර ඒවායේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් සැක සහිතය.ගුණාත්මක බවින් අඩු ආනයනික රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේ මෙම විනාශකාරී ව්‍යාප්තිය රටේ විදේශ විනිමය  පිටතට ගලායාම වැඩි කිරීම  පමණක් නොව, දිගුකාලීනව සමේ ​​සහ අනෙකුත් පිළිකා වර්ග වැනි අහිතකර සෞඛ්‍ය ගැටලුවලට තුඩු දිය හැකිය. එබැවින් දේශීය සම්පත් භාවිතයෙන් ඉහළ ගුණාත්මක බවකින් යුත් රූපලාවන්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම තුළින් රටේ ස්වභාවික හා මානව සම්පත් උපරිම ලෙස භාවිත කිරීමට  පමණක් නොව, එම නිෂ්පාදන සඳහා ආනයන වියදම් අවම කර ගනිමින් රූපලාවන්‍ය කර්මාන්තය ශක්තිමත් කරමින් නවෝත්පාදන ආර්ථිකයක් සඳහාද  දායක වනු ඇත. .

 ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ, රූපලාවන්‍ය ආශ්‍රිත පර්යේෂණ දේශීය විද්‍යාඥයින් අතර එතරම් ජනප්‍රිය නොවේ. මෙම ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කෙරෙන පර්යේෂණ බොහෝ දුරට සීමා වී ඇත්තේ දේශීය සම්භවයක් ඇති රූපලාවන්‍යමය වශයෙන් වැදගත් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා වන අතර එය අවසන් නිෂ්පාදනය  දක්වා වර්ධනය කිරීමක් සිදු නොවේ. දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදකයින්ගේ පර්යේෂණ සහ සංවර්ධන අංශයන්  ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ නිෂ්පාදනවල සැබෑ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට වඩා නිෂ්පාදනයේ සෞන්දර්යය වැඩිදියුණු කිරීමටය. ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  යනු රට තුළ සංවර්ධනය සඳහා විශාල විභවයක් ඇති පර්යේෂණ ක්ෂේත්‍රයක් වුවද, තවමත් එය සාපේක්ෂව තරුණ පර්යේෂණ ක්ෂේත්‍රයක් ලෙස පවතී. ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  ආශ්‍රිත පර්යේෂණ ක්‍රියාත්මක කිරීමේදී ඇති ප්‍රධාන අභියෝග අතරට විශේෂිත මෙවලම් සහ උපකරණ නොමැතිකම, රූපලාවන්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහා අරමුදල් නොමැතිකම, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන පර්යේෂකයන් නොමැතිකම, විවිධ පර්යේෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාවය නොමැතිකම සහ රූපලාවණ්‍ය කර්මාන්තයේ අතිශය ඉහළ එදිරිවාදිකම් සහ අඩු පාරිභෝගික දැනුවත්භාවය හේතුවෙන් පර්යේෂණ නිමැවුම්හි වාණිජකරණය සඳහා ඇති බාධක යනාදිය  ඇතුළත් වේ.කෙසේ වෙතත්, ඉහළ   කුසලතා සහිත ද්‍රව්‍ය විද්‍යාඥයින්, නැනෝ තාක්‍ෂණවේදීන් සහ ජීව විද්‍යාඥයින් සිටීම, රූපලාවණ්‍ය ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සඳහා  ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් වීම ,  රූපලාවණ්‍ය ද්‍රව්‍ය සඳහා පවතින දේශීය, කලාපීය සහ ගෝලීය වෙළඳපොලේ වර්ධනය  යනාදිය ශ්‍රී ලංකාවේ ඖෂධීය ගුණාංග සහිත නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය (Nano cosmeceuticals  )  ආශ්‍රිත පර්යේෂණ ආරම්භ කිරීම සහ සංවර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවය ඉස්මතු කරයි. නැනෝරූපලාවන්‍යද්‍රව්‍ය හා  සමාන මාර්ග සහ විභවයන් සහිත ශ්‍රී ලංකාවේ නැගී එන අවධියේ පවතින  ක්ෂේත්‍රයක් වන නැනෝ වෛද්‍ය විද්‍යාව සඳහා දේශීය පර්යේෂකයන් විසින් මෑතදී ඇති වූ උනන්දුව මගින් මෙම කරුණ තවදුරටත් සාධාරණීකරණය වේ.

  1. Kaul, S.; Gulati, N.; Verma, D.; Mukherjee, S.; Nagaich, U., 2018, Role of Nanotechnology in Cosmeceuticals: A Review of Recent Advances. Journal of Pharmaceutics, 34, 20204.
  2. Nitesh C, Himanshu V, Roshan D, 2021, Cosmetics Market by Category, Gender, and Distribution Channel: Global Opportunity Analysis and Industry Forecast, 2021-2027. Allied Market Research. Viewed 05 January 2021. < https://www.alliedmarketresearch.com/cosmetics-market>
  3. nilesh R, 2015, Asia-Pacific Cosmetics Market by Category (Skin & Sun Care Products, Hair Care Products, Deodorants, Makeup & Color Cosmetics, and Fragrances) and Mode of sale (Retail sales and Online sales) – Opportunity Analysis and Industry Forecast, 2014-2020. Allied Market Research. Viewed 04 January 2021. < Asia-Pacific Cosmetics Market Size, Trends, Industry Analysis (alliedmarketresearch.com)>
  4. Nguyen, T. A.; Rajendran, S., 2020, Chapter 23 – Current commercial nanocosmetic products. In Nanocosmetics, Nanda, A.; Nanda, S.; Nguyen, T. A.; Rajendran, S.; Slimani, Y., Eds. Elsevier; pp 445-453.
  5. Nanda, S.; Nanda, A.; Lohan, S.; Kaur, R.; Singh, B., 2016, Chapter 3 – Nanocosmetics: performance enhancement and safety assurance. In Nanobiomaterials in Galenic Formulations and Cosmetics, Grumezescu, A. M., Ed. William Andrew Publishing; pp 47-67.
  6. Raj, S.; Jose, S.; Sumod, U.; Sabitha, M., 2012, Nanotechnology in cosmetics: Opportunities and challenges. Journal of Pharmacy And Bioallied Sciences, 4 (3), 186-193.
  7. Juan-Badaturuge, M.; Udeshika, P. H., 2011, Medicinal Plant Applications in Cosmetics. Planta Med, 77 (05), P_111.
  8. Nirmalan, T. E., 2017, Cosmetic Perspectives of Ethno-botany in Northern Part of Sri Lanka. Journal of Cosmetology & Trichology, 3 (3), 126.
  9. Liyanaarachchi, G. D.; Samarasekera, J. K. R. R.; Mahanama, K. R. R.; Hemalal, K. D. P., 2018, Tyrosinase, elastase, hyaluronidase, inhibitory and antioxidant activity of Sri Lankan medicinal plants for novel cosmeceuticals. Industrial Crops and Products, 111, 597-605.
  10. Perera, H. D. S. M.; Samarasekera, J. K. R. R.; Handunnetti, S. M.; Weerasena, O. V. D. S. J., 2016, In vitro anti-inflammatory and anti-oxidant activities of Sri Lankan medicinal plants. Industrial Crops and Products, 94, 610-620.
  11. Samaradivakara, S. P.; Samarasekera, R.; Handunnetti, S. M.; Weerasena, O. V. D. S. J., 2016, Cholinesterase, protease inhibitory and antioxidant capacities of Sri Lankan medicinal plants. Industrial Crops and Products 83, 227-234.
  12. Manatunga, D. C.; de Silva, R. M.; de Silva, K. M. N., 2018, The state of nanomedicine in Sri Lanka: challenges and opportunities. Journal of Interdisciplinary Nanomedicine, 3 (2), 32-37.

සාරාංශය

රූපලාවණ්‍ය කර්මාන්තය දේශීයව මෙන්ම ගෝලීය වශයෙන්ද වේගයෙන් ව්‍යාප්ත වන ක්ෂේත්‍රයකි. රූපලාවණ්‍ය ද්‍රව්‍ය සරල පාරිභෝගික භාණ්ඩයක් ලෙස පෙනුනද, රූපලාවන්‍ය නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා  විද්‍යාව හා තාක්‍ෂණයේ සුවිශාල දායකත්වයක් හිමිවේ. නැනෝ තාක්ෂණය, නිෂ්පාදනවල සෞන්දර්යාත්මක ගුණාංග පමණක් නොව, රූපලාවන්‍යමය  ප්‍රතිලාභයද  වැඩි දියුණු කිරීමෙන් රූපලාවන්‍ය කර්මාන්තයට බලපෑම් කිරීමට සමත් වී ඇත. නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය යනු ලෝකයේ නැගී එන ක්ෂේත්‍රයක් වන අතර එය ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළද ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති අතර එය විශාල වර්ධන විභවයක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම, දේශීය සම්භවයක් ඇති නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා නැනෝ තාක්ෂණය සමඟ අගය එකතු කරන ලද රූපලාවන්‍යමය වශයෙන් ප්‍රයෝජනවත් දේශීය අමුද්‍රව්‍ය රටට විදේශ මුදල් උත්පාදනය සඳහා නව මංපෙත් විවර කර දෙනු ඇත.මෙම ලිපිය මගින්  ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණවල අනාගත විභවයන් සහ දේශීයව මෙම ක්ෂේත්‍රයේ දැනට සිදු කරන ලද කාර්යයන් සාරාංශගත  කරයි.

ආචාර්ය ඉඳුනි ඩබ්ලිව්. සිරිවර්ධන
ජේෂ්ඨ කථිකාචාර්ය
පරිගණක සහ තාක්ෂණ පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

Author

Related Articles

Back to top button