Must Readපර්යේෂණවෙනත් තාක්ෂණයන්

තිරසර අනාගතයක් ගොඩනැගීමේදී ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලීන් මඟින් නිපදවෙන අපද්‍රව්‍ය, අගය එක්කිරීම හරහා  නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම

ආචාර්ය ආර්.එම්.එල්.ඩී රත්නායක - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

හැඳින්වීම

ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී වන අපද්‍රව්‍ය (C&DW) Construction and Demolition Waste යනු ඉදිකිරීම් කර්මාන්තයේ ඉදිකිරීම්, නඩත්තු කිරීම් , ප්‍රතිසංස්කරණය සහ කඩා ඉවත් කිරීමේ කටයුතු වලදී ප්‍රථිපලයන් වන සියලුම අන්තරායකර නොවන ඝන අපද්‍රව්‍ය වේ. ඉදිකිරීම් කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු,ගොඩනැගිලි  කඩා ඉවත්කිරීමේ  ක්‍රියාකාරකම්, ඉඩම් පිරිසිදු කිරීමේ කටයුතු , විවිධ ස්වභාවික විපත් යනාදී බොහෝ කාර්යයන් හරහා ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී අපද්‍රව්‍ය ජනනය වීම ප්‍රතිඵල විය හැක. C&DW හි ඇතුළත් වන  පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, කොන්ක්‍රීට්, තාර  සහ බැර ලෝහ අඩංගු තීන්ත වැනි සමහර ප්‍රධාන කොටස් ඕනෑම පරිසර පද්ධතියකට සහ මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

C&DW යනු ගෝලීය වශයෙන් ජනනය වන ඝන අපද්‍රව්‍ය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ප්‍රභවයන්ගෙන්   එකකි. (Poon & Chan, 2007). නිදසුනක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ සමස්ත අපද්‍රව්‍යවලින් 15% ක් , C&DW වලින් සමන්විත වන අතර (Mcdonald & Smithers, 1998), මැලේසියාවේ, එම අගය 41% දක්වා ඉහළ යයි (Eusuf et al., 2012). ඉන්දියාවේ ඉදිකිරීම් කර්මාන්තය සමස්ත පාංශු අපද්‍රව්‍ය උත්පාදනයෙන් 23%කට දායක වේ (Poon & Chan, 2007). කෙසේ වෙතත්, ලොව පුරා ජනනය වන මෙම අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක අවසන් නිවහන වන්නේ සැලකිය යුතු පාරිසරික හා සෞඛ්‍ය ගැටලු ඇති කරමින් පාලනයකින් තොරව කසල බැහැර කෙරෙන ඉඩම් ගොඩකිරීම් වේ.

පරිසර පද්ධතිවලට හා ජෛව විවිධත්වයට හානි කර දුෂක එකතු කරන කොන්ක්‍රීට්, ප්ලාස්ටික්, වීදුරු සහ තාර වැනි C & DW අනිසි ලෙස බැහැර කිරීම භුමිය, ජලය සහ වාතය දූෂණය වීමට හේතු වේ. ඉදිකිරීම් කටයුතු සඳහා වැලි සහ දැව වැනි ස්වභාවික සම්පත් බහුලව භාවිතා කිරීම සම්පත් ක්ෂය වීම උග්‍ර කරයි. එපමණක් නොව, අධ්‍යයනවලින් පෙනී යන්නේ සෑම වසරකම ගෝලීය වශයෙන් භාවිතයට ගැනෙන  ගල්, බොරළු සහ වැලි වලින් 40% ක් සහ දැව වලින් 25% ක් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදාගැනෙන බවයි (Cheng et al., 2006).

තිරසාර සමාජයක් නිර්මාණය උදෙසා ගනු ලබන ප්‍රයත්නයන්හිදී , පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා C&DW කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම, C&DW නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පරිවර්තනීය ප්‍රවේශයක් අනුගමනය කිරීම  තිරසාර අනාගතයක්  උදාකර ගැනීම උදෙසා සැලකිය යුතු ලෙස උපකාරී වේ. මෑතක දී, අපද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීම අරමුණු කරගත් විකල්ප භාවිතයන් වර්ධනය කිරීම සඳහා ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී නිපදවෙන අපද්‍රව්‍ය (C&DW) භාවිතා කිරීම පිළිබඳව අධ්‍යයනයක්  සිදු කර ඇත. ඒවායේ  වටිනාකම ඉහළ නැංවීම සඳහා විශේෂිත ක්‍රම තෝරා ගැනීමට හේතු  පැහැදිලි කිරීම්ද මෙයට ඇතුළත් වේ. නිදසුනක් වශයෙන්, කැඩ්මියම්, ඊයම් සහ ක්‍රෝමියම් වලින් දූෂිත වී ඇති  අප ජලය පිරිපහදු කිරීම සඳහා මැටි ගඩොල් සහ කොන්ක්‍රීට් කුඩු භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනයන් යටතේ ගවේෂණය කර ඇත ( Kumara et al., 2019a; 2019b; Bandara et al., 2020). ඒ හරහා C&DW සඳහා අගය එකතු කිරීම තුලින් විවිධ අරමුණු සඳහා ඒවා නැවත භාවිතා කිරීමේ හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත.

ඒ අනුව පරිසර හානිය අවම කිරීම සඳහා නිසි C & DW කළමනාකරණ උපාය මාර්ග හා අනුගත විය යුතුය. මීට අමතරව, ඉදිකිරීම් අංශය තුළ අධික ලෙස ද්‍රව්‍ය නාස්තිය ව්‍යාපෘති ලාභයට අහිතකර ලෙස බලපෑ හැකිය .මේ අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල ආර්ථික ශක්‍යතාව ආරක්ෂා කරමින් පාරිසරික තිරසාර බව තහවුරු කිරීම සඳහා නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කරමින්  ද්‍රව්‍යමය නාස්තිය අවම කිරීම ඉතා වැදගත් වේ. මෙම ලිපිය C&DW උත්පාදනය , එහි ලක්ෂණ සහ තිරසාර C&DW කළමනාකරණයේ ප්‍රධාන මාර්ගයක් ලෙස ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතා කිරීමේ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාවේ C&DW ජනනය  සහ ඒවායේ ලක්ෂණ.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට 7% ක පමණ දායකත්වයක් ලබාදී ඇතත්, රට තුළ ජනනය වන C&DW ප්‍රමාණය පැහැදිලිව ගණනය කර නොමැත. Gunawardhana (2020) විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් වාර්තා වූයේ සම්පූර්ණ C&DW ජනනය වීම, ඉදිකිරීම් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වලින් 5.4 ± 4.4% බවයි. C&DW අපද්‍රව්‍යවල එක් එක් ද්‍රව්‍ය වර්ගවල සාපේක්ෂ සංයුතීන් වගුව 1 හි පෙන්වා ඇත. මෙම ලිපියෙන් හෙළිදරව් කර ඇති පරිදි C&DW යනු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ නැවත භාවිත කළ හැකි මූලද්‍රව්‍ය රාශියකින් සමන්විත සම්පතක් බව පැහැදිලි වේ.

C&DW නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ එහි වැදගත්කම

C&DW අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සැලකිය යුතු පාරිසරික ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වන අතර ඒ හරහා   අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීම්  අවම කරමින්  සීමිත ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හැකි වේ. මීට අමතරව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සිදු කෙරෙන  සටනට දායකත්වය දක්වමින් කාබන් විමෝචනය සැලකිය යුතු අන්දමින් අඩු කිරීමට කොන්ක්‍රීට් වැනි ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය යොදා ගත හැකිය. ඉදිකිරීම් කර්මාන්තයේ නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම, තිරසර පරිසරයක්  පමණක් නොව රැකියා අවස්ථා ද නිර්මාණය කර දේ. මෙලෙස  ද්‍රව්‍ය පිලිබඳ  චක්‍රීය  ආර්ථික ප්‍රවේශයන් අනුගමනය හරහා ඉදිකිරීම් කර්මාන්තයේදී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම තුලින් අමුද්‍රව්‍ය පිරිවැය අඩු කර ගත හැකි අතර  ආර්ථික වර්ධනය සහ රැකියා අවස්ථා ඉහළ නංවන වෙළඳපල නිර්මාණය කිරීමට ප්‍රතිචක්‍රීකරණය උපකාරී වේ. සම්පත් කාර්යක්ෂමතාව, අපද්‍රව්‍ය අවම කිරීම සහ තිරසර සහ ස්වයං පුනර්ජනනීය පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ආධාර කරන චක්‍රීය ආර්ථිකයේ මූලධර්මවලට එවැනි මූලාරම්භයන් පටහැනි නොවේ.

C&DW ප්‍රතිචක්‍රීකරණය සඳහා නවෝත්පාදනයන්  (සිද්ධි අධ්‍යයන)

C&DW ප්‍රතිචක්‍රීකරණය හරහා, තිරසාර ඉදිකිරීම් කර්මාන්තයක් ඉදිරියට රැගෙන යාමට ඉංජිනේරු සහ නවෝත්පාදනයන් ඉවහල් වන ආකාරය පිළිබඳව  ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරනු ලැබූ  සිද්ධි අධ්‍යයන දෙකක් පහතින් දක්වා ඇත.

සිද්ධි අධ්‍යයනය 1:  අපද්‍රව්‍ය මිශ්‍රණ සහ පොලිතින් ඇසුරෙන් මාර්ග වල ඇතිරීම සඳහා ගල් තාර(Asphalt) වැඩිදියුණු  කිරීම

(Janath, 2023, මෙම ලිපියේ කතෘ විසින් මෙම අධ්‍යයනය අධීක්ෂණය කරන ලදී.)

ඉවතලන අපද්‍රව්‍ය මිශ්‍රණ  ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉදිකිරීම් කර්මාන්තය තුළ තිරසාර භාවිතයන් සඳහා වැදගත් වේ. මෙහිදී වැඩිදියුණු කිරීම් සිදු කල හැකි එක් දිශානතියක් ලෙස මෙම මිශ්‍රනයන්හි  යාන්ත්‍රික ලක්ෂණ ඉහල නැංවීම සඳහා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතය දැක්විය හැකි අතර ඒ හරහා  අපද්‍රව්‍ය වර්ග කිරීමට සිදු වීමේ  උභතෝකෝටික ගැටලුව සඳහාද විසඳුම් සැපයේ. අනෙක් අතින් ගත්කල , ප්ලාස්ටික් ආලේපනය මඟින් මතුපිට තත්වය වෙනස් කරන ලද තත්වයෙන් පහල මිශ්‍රණයන් ඉදිකිරීම් කටයුතු සඳහා වඩාත් සුදුසු බව මේ වන විට සලකනු ලැබේ.

රූප සටහන 1: 1 සිද්ධි අධ්‍යයනයේ දී අපද්‍රව්‍ය මිශ්‍රණ  සහ ප්ලාස්ටික් භාවිතයෙන් ගල්තාර (ඇස්ෆල්ට්) නිෂ්පාදනය සහ පරීක්ෂා කිරීමේ පර්යේෂණාත්මක ක්‍රියා පටිපාටිය.

ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිසර ඉංජිනේරු විද්‍යාගාරයේ සිදු කරන ලද නව්‍ය පර්යේෂණ වලදී, අපද්‍රව්‍ය මිශ්‍රණ එකතුව මතුපිටට ප්ලාස්ටික් දැවටුමක් යොදමින් පූර්ව ප්‍රතිකර්ම සිදු කරන ලදී (Manchanayake, 2020). ප්ලාස්ටික් ආලේපිත අපද්‍රව්‍ය මිශ්‍රණයේ  (PCA) යාන්ත්‍රික ශක්තිය සහ බන්ධන විභවය වැනි ඉංජිනේරුමය  ගුණාංග, එම ගුණාංගවල වර්ධනය වීම විමර්ශනය කිරීම සඳහා පරීක්ෂා කරන ලදී. එම අපද්‍රව්‍ය මිශ්‍රණවල සියලුම යාන්ත්‍රික ගුණාංග අවසර ලත් මට්ටමට වඩා වර්ධනය වී තිබීම  සිත්ගන්නා කරුණකි. ඉන් අනතුරුව, ඉහත ප්ලාස්ටික් ආලේපිත අපද්‍රව්‍ය මිශ්‍රණ ( PCA ) ඇසුරෙන් සකසා ගත්  ගල් තාර (ඇස්ෆල්ට්) වල සාර්ථකත්වය විමර්ශනය කිරීම සඳහා සම්මත රසායනාගාර පරීක්ෂණ වන මාෂල් ස්ථායීතා පරීක්ෂණය, ස්ට්‍රිපින් අගය පරීක්ෂාව සහ බිටුමන් නිස්සාරණ පරීක්ෂණය සිදු කරන ලදී. විශ්මයජනක ලෙස, සියලුම පරීක්‍ෂා කරන ලද සාම්පලයන් නිර්දේශිත ප්‍රමිතීන් තෘප්තිමත් කරණු ලැබූ  අතර, එමගින් පෙන්නුම් කර ඇත්තේ  මෙම ප්ලාස්ටික් ආලේපිත අපද්‍රව්‍ය මිශ්‍රණ (PCA) යනු මාර්ග සඳහා යොදන ගල් තාර නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි  C&DW හි අඩංගු වන අපද්‍රව්‍ය මිශ්‍රණ හා පොලිතීන් පොලිතීන් සඳහා උචිත ප්‍රතිචක්‍රීකරණ විකල්පයක් බවයි.

සිද්ධි අධ්‍යයනය 2:  ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපද්‍රව්‍ය මිශ්‍රණ  (RCA) භාවිතයෙන් සවිවර කොන්ක්‍රීට් වැඩිදියුණු කිරීම.

(Janath, 2023, මෙම ලිපියේ කතෘ විසින් මෙම අධ්‍යයනය අධීක්ෂණය කරන ලදී.)

දිනෙන් දින වර්ධනය වන යටිතල පහසුකම් සංවර්ධනයන්,  නාගරික ජලාපවහන පද්ධති සඳහා දැවැන්ත අභියෝගයක් එල්ල කර ඇති අතර, ඒවායේ ජල උරාගැනීමට  බාධා පමුණුවමින්  නාගරික ගංවතුර වැනි අහිතකර තත්ත්වයන්ට මඟ පාදා ඇත. තිරසර ජලාපවහන පද්ධති,නාගරික  වැසි ජලය උරාගැනීම වැඩි කිරීම මගින් නාගරික ප්‍රදේශයන්හි වැසිජලය සහ අනෙකුත් ජලය එකතුවීම්  අඩු කිරීම සිදු කරයි. වර්ෂාව, හේතුවෙන් එක්රැස්වන ජලය කළමනාකරණය කර ගැනීමේ කාර්යක්ෂම විසඳුමක් ලෙස සවිවර කොන්ක්‍රීට් භාවිතය හඳුනා ගනු ලැබ ඇති අතර එහිදී වැඩි උරා ගැනීමක් සහ එම ජලයේ අඩංගු දූෂක ඉවත් කිරීමේ වැඩි ගුණයක් ප්‍රතිඵල වේ.

 

රූපය 2: සිද්ධි අධ්‍යයනය 2 යටතේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ  සහ ප්ලාස්ටික් භාවිතයෙන් ගල් තාර (ඇස්ෆල්ට්) නිෂ්පාදනය සහ පරීක්ෂා කිරීමේ පර්යේෂණාත්මක ක්‍රියා පටිපාටිය

නාගරික ප්‍රදේශයන්හි ජලය ඒකරාශී වීම් සහ C&DW සඳහා විසඳුමක් ලෙස, සවිවර කොන්ක්‍රීට් සංවර්ධනය කිරීමේදී  ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ  (RCA) භාවිතා කරන ලද අතර ඒවායේ ජල අවශෝෂණය, නිශ්චිත ගුරුත්වාකර්ෂණය, සම්පීඩ්‍යතා ශක්තිය සහ බොර භාවය ඉවත් කිරීමේ හැකියාව වැනි ප්‍රධාන ගුණාංග විමර්ශනය කරන ලදී (රූපය 2) ( Janath. A, 2023).  නිර්දේශ කර ඇති  යාන්ත්‍රික ගුණාංග  (එනම් සම්පීඩ්‍යතා ශක්තිය) සහ වැඩ කිරීමේ පහසුව  සහ ජලය කාන්දු වීමේ අනුපාත වැනි අනෙකුත් ප්‍රමුඛ ගුණාංග පෙන්නුම් කරන බැවින්, සවිවර කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ (RCA) ඵලදායී ලෙස භාවිතා කළ හැකි බව අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් අනාවරණය විය. ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ (RCA) ඇසුරෙන් නිපදවන ලද සවිවර කොන්ක්‍රීට් සඳහා හිමි වී ඇති අමතර වාසියක් ලෙස  බොර ස්වභාවය ඉවත් කිරීමේ කැපීපෙනෙන හැකියාවක් ප්‍රදර්ශනය කරයි. තවද, ඉහත සවිවර කොන්ක්‍රීට් නිෂ්පාදනය පිලිබඳ පිරිවැය විශ්ලේෂණයෙන් පෙනී යන්නේ, සවිවර කොන්ක්‍රීට් නිෂ්පාදනය කිරීමේදී ස්වාභාවික අපද්‍රව්‍ය මිශ්‍රණවලට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ (RCA) භාවිතය ආර්ථික වශයෙන් ශක්‍ය වන බවයි. එබැවින්, තිරසාර ජලාපවහන පද්ධති සංවර්ධනයේදී මෙම ප්‍රතිචක්‍රීකරණය කරන ලද රළු අපද්‍රව්‍ය මිශ්‍රණ (RCA) ආදේශ කිරීම සඳහා නිර්දේශ කරන ලද අතර, එමගින් නාගරික ජලාපවහන කළමනාකරණ පිළිවෙත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සහ ඒවා තවදුරටත් වැඩිදියුණු  කිරීමට හැකි වනු ඇත.

සාරාංශය

විවිධ හේතු නිසා C&DW හි තිරසාර කළමනාකරණයක් සිදු කිරීම  අත්‍යවශ්‍ය වී ඇත. C&DW නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම එය සාක්ෂාත් කර ගැනීමේ එක් ආකාරයක් වේ. මෑතකදී සිදු කරනු ලැබූ සිද්ධි අධ්‍යයනයන් මගින් පර්යේෂණ සහ නවෝත්පාදනයන් හරහා C &DW හි ප්‍රතිචක්‍රීකරණ විභවය  අනාවරණය කර ගනු ලැබූ අතර පාරිසරික හානිය අවම කරමින්  තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය උදෙසා එය මහෝපකාරී වේ. මෙම නවෝත්පාදනයන් හරහා, පාරිසරික  දූෂණය අවම කිරීමේ සහ තිරසාර භාවිතයන් බලාත්මක කිරීමේ ගෝලීය මුලපිරීම ඉදිරියට ගෙන යන අතරම, වැඩි කාර්යක්ෂමතාවයක්, සම්පත් සංරක්ෂණයක් සහ වඩා සවිමත් ලොවක් නිර්මාණය සඳහා කර්මාන්ත අංශයට හැකියාව උදා වනු ඇත.

මූල පද:  ඉදිකිරීම් සහ  ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රතිඵල වන අපද්‍රව්‍ය ; තිරසාර බව; ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතා කිරීම; නවෝත්පාදනය: අපද්‍රව්‍ය එකතුව;ගල් තාර  (ඇස්ෆල්ට්); සවිවර කොන්ක්‍රීට්

References

Cheng, E. W. L., Chiang, Y. H., & Tang, B. S. (2006). Exploring the economic impact of construction pollution by disaggregating the construction sector of the input-output table. Building and Environment, 41(12). https://doi.org/10.1016/j.buildenv.2005.06.020

Eusuf, M. A., Ibrahim, M., & Islam, R. (2012). The construction and demolition wastes in Klang Valley, Malaysia. Planning Malaysia, 10. https://doi.org/10.21837/pmjournal.v10.i3.103

Gunawardhana, W. A. P. C. P., Madushanka. R. M. L. , Dissanayake. P. B. R., Kawamoto. K., and Rathnayake. R. M. L. D. (2020). Construction and demolition waste generation and its management in Sri Lankan building construction projects. Environmental Monitoring and Management Conference, 91.

Janath. A. (2023). Sustainable Drainage System Modeling Support Decision Making – Recycled Concrete Aggregate used Porous Concrete [MSc]. University of Peradeniya.

Manchanayake, M. A. M. O., Nirosani. K. P., Sumathipala. H. M. C. M., Fernando. M. H. Y. K., Dissanayake. P. B. R., Kawamoto. K., and Rathnayake. R. M. L. D. (2020). Recycling of low-quality waste aggregate with plastic coating for asphalt production. Environmental Monitoring and Management Conference, University of Peradeniya, Sri Lanka, 88.

Mcdonald, B., & Smithers, M. (1998). Implementing a waste management plan during the construction phase of a project: A case study. Construction Management and Economics, 16(1). https://doi.org/10.1080/014461998372600

Poon, C. S., & Chan, D. (2007). The use of recycled aggregate in concrete in Hong Kong. Resources, Conservation and Recycling, 50(3). https://doi.org/10.1016/j.resconrec.2006.06.005

ආචාර්ය ආර්.එම්.එල්.ඩී රත්නායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

Author

Related Articles

Back to top button