Must ReadScience Insiderපර්යේෂණවිශේෂාංගස්වාභාවික විද්‍යාව

ඇමසන් බිහි වුණේ කළු පස් නිසා ද?

හේමාල් සෙන්දනායක - භෞතික විද්‍යාඥ

ලෝකයේ විශාලම වනාන්තරය

මිනිසුන් කොට්ඨාසයකගේ කි‍්‍රයාකාරකම් සහ ඔවුන් නිසා බිහි වූ පස් වර්ගයක් හේතුවෙන් ලෝකයේ විශාල ම වනාන්තරය බිහි වුණා යැයි පැවසුවහොත් ඔබ සිතන්නේ කුමක් ද? එය සැබෑවකි. මීට වසර දහස් ගණනකට පෙර දකුණු  අමෙරිකාවේ අද මෙන් සුවිසාල ඇමසන් වනාන්තරයක් පිහිටියේ නැත. එය එකල සුවිසල් තණ බිමකි. තවද එකල මේ තණ භූමිය සරුසාර බිමක් ද නොවීය. විද්‍යාඥයන්ගේ ගණනයන්ට අනුව මේ තණ භූමිය මත ඇමසන් ගංගාවේ නිම්නය පාදක කොට ගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගම්බිම් සකසා ගනිමින් වාසය කර තිබේ. ඔවුන් මේ පොළොවේ වගා කිරීමේ ප්‍රයත්න දැරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ භූමිය සාරවත් වී ඇති අතර මේ ප්‍රදේශයේ ශාක වර්ග 83ක් පමණ එලෙස එම අතීත  ජනතාව විසින් පැළ කිරීම නිසා හට ගත් ඒවා වේ.

ටෙරා පිට්‍රා

මේ නිසරු තණ බිම සරුසාර භූමියක් බවට පත් වීමට මේ ජනාවාස හා සබැඳී එක්තරා පස් වර්ගයක් හේතු වී ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. අතීතයේ එම ජන වර්ගයා වාසය කළ ප්‍රදේශ ආශි‍්‍රතව වර්ග කිලෝමීටර ගණනින් වූ වපසරියක මීටර ගණනින් පොළව තුළ අනෙක් ස්ථානවලට සාපේක්ෂව කළු පැහැති පසක් ඇත. එම සුවිශේෂී පස Terra Preta (ටෙරා පිට්‍රා) ලෙසින් හැඳීන්වේ. මෙහි අර්ථය කළු පස යන්න යි. ආදි ජනයා ඇමසන් ගංගා නිම්නයේ ශිෂ්ටාචාරගතව කලක් තිස්සේ වාසය කිරීමේ  දී ඇති වූ ප්‍රතිඵලයක් ලෙස එම ජනයා එම ප්‍රදේශයේ පොළව හා කළ කි‍්‍රයාකරකම් සහ එම ජනයාගේ වසුරු හේතුවෙන් එම සුවිශේෂී පස් ස්වාභාවිකව ක්‍රමයෙන් නිෂ්පාදනය සිදු වී ඇති බව විද්‍යාඥයන් තහවුරු කොට ගෙන ඇත. මේ  සරු පස තුළ ඔවුන් වගා කටයුතු සඳහා පැළ සිටුවීමෙන් සියවස් ගණනකට පසු අද පවතින සුවිශාල ඇමසන් වනය ඇති වීමට මූල බීජය සපයා ඇත.

යුරෝපීය ආගමනය

මේ අපූරු ජන වර්ගය සහ ඔවුන්ගේ ශිෂ්ටාචාර නැති වී යෑමට හේතු වූ කරුණ ලෙස එම කලාපයට යුරෝපීයන්ගේ ආගමනය සැලකේ. යුරෝපීය ජාතීන් මඟින් රෝග පැතිර යෑම නිසා එම රෝගවලට ඔරොත්තු දීමට එම ජනතාව තුළ ප්‍රතිශක්තිය නොමැති වීම නිසා ඔවුන්ගේ පැවැත්ම එතැනින් අවසන් විය. ඔවුන්ගෙන් ශේෂ වූ කොටස් සියවස් 5ක් ගෙවුණූ තැන වර්තමානයේ ඇමසන් වනය තුළ ඇමසන් ගෝත්‍ර ලෙස ජීවත් වේ. ඇමසන් ශිෂ්ටාචරය විනාශ වීමත්, එම සරු පස පැවතීමත් හේතු කොට ගෙන අද විද්‍යාමාන වන ඇමසන් මහා වනාන්තරය ඇති වේ. මේ කි‍්‍රයාවලිය පසුගිය සියවස් 5ක් තුළ ඉතා ශීඝ්‍රයෙන් සිදු වී ඇත. වර්තමානයේ එම ප්‍රදේශ ආශි‍්‍රතව ඇති මේ  Terra Preta පස් කැණීමෙන් පොහොර ලෙස විකිණීමේ ව්‍යාපාර වශයෙන් සිදු වෙමින් පවතී.

 

 

Author

Related Articles

Back to top button